වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයිද?

Report

හෙට (30) දිනයේ රාජ්‍ය ආයතන රැසක ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන වෘත්තීය සමිති ද සහාය පළ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

කෙසේ වෙතත්, එම වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව සෘජුවම එක්වන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් රජය අනුගමනය කළ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට පසුබිම සැකසී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේදී, රටේ පවතින ජීවන වියදම සහ සේවා ගාස්තු ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සමස්ත රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටි බව චින්තක බණ්ඩාර මහතා පැවසීය.

එහෙත් එම ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයටම ලබාදීම වෙනුවට තෝරාගත් කණ්ඩායම් සඳහා පමණක් විවිධ දීමනා ලබාදීමට රජය කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය.

රාජ්‍ය විශ්වවිද්‍යාල දවස් දෙකක් නවතීද? - වෘත්තීය සමිති දෙදින වැඩවර්ජනයකට සැරසෙයි

රාජ්‍ය විශ්වවිද්‍යාල දවස් දෙකක් නවතීද? - වෘත්තීය සමිති දෙදින වැඩවර්ජනයකට සැරසෙයි

මේ හේතුවෙන් රාජ්‍ය සේවය තුළ විශාල බෙදීමක් නිර්මාණය වී ඇති අතර, ඇතැම් රාජ්‍ය සේවාවන් නොසලකා හැරීමට ද ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලුම රාජ්‍ය සේවකයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය සහන හා දීමනා ලබාදීම රජයේ වගකීමක් බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතාවල නිරත වන පිරිස්වලට කිසිදු වරප්‍රසාදයක් ලබා නොදෙන බවට රජයේ පාර්ශ්වයෙන් සිදුකරන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට නොගැළපෙන බව ද චින්තක බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරියේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වීමට සමස්ත තැපැල් සේවකයන්ගේ එකඟතාව පළ වී ඇති බවත්, රාජ්‍ය සේවක ඉල්ලීම්වලට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඉඩ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක උරුම ගාලු කොටුවේ රජයේ ඉඩම් අවභාවිතයක් ගැන විගණනයෙන් අනාවරණයක්

ලෝක උරුම ගාලු කොටුවේ රජයේ ඉඩම් අවභාවිතයක් ගැන විගණනයෙන් අනාවරණයක්