ලෝක උරුම ගාලු කොටුවේ රජයේ ඉඩම් අවභාවිතයක් ගැන විගණනයෙන් අනාවරණයක්
ලෝක උරුමයක් වන ගාලුකොටුවේ පිහිටි රජයට අයත් පර්චස් 21.8ක ඉඩම් කොටස් 17ක් පුද්ගලික පරිහරණයට යොදාගෙන තිබුණ ද, ඒවායේ භුක්තිය යළි රජයට හෝ ගාලු උරුමය පදනම වෙත පවරා ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බව අනාවරණය වී තිබේ.
ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද 2025 වර්ෂයට අදාළ නවතම වාර්ෂික විගණන වාර්තාව මගින් මේ බව හෙළි කර ඇත.
රජයේ දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන අදාළ ඉඩම්වල භුක්තිය යළි රජයට හෝ ගාලු උරුමය පදනම වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර තිබේ.
එමෙන්ම, ගාලුකොටුව පරිශ්‍රයේ විවිධ රාජ්‍ය ආයතනවලට අයත් නිෂ්කාර්යව පවතින ඉඩම් 15ක් ඵලදායී ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ගාලුකොටුව තුළ පිහිටි රජයේ ඉඩම් නිරවුල් කර පවරා ගැනීම සඳහා පදනම අවශ්‍ය ලිඛිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සහ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද කිරීම හේතුවෙන් එම ක්‍රියාවලිය මෙතෙක් අවසන් කිරීමට නොහැකි වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ගාලු උරුමය පදනමේ කළමනාකරණ කමිටු රැස්වීම් සඳහා රාජ්‍ය ආයතන 26ක් නියෝජනය වන බවත්, එම ආයතනවල සහයෝගය පදනම වෙත ලබාදිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
අදාළ ඉඩම්වල භුක්තිය ගාලු උරුමය පදනම වෙත පවරා දුනහොත් දැනට නිෂ්කාර්යව පවතින ඉඩම් ඵලදායී ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ගාලු උරුමය පදනම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කරන ලද වාර්ෂික විගණන වාර්තාවේ මෙම කරුණු අනාවරණය කර තිබේ.