බෞද්ධයින් බැතියෙන් සමරන පොසොන් පුන් පොහෝ දිනය අදයි..

Poson poya day Sri Lanka Festival
By krishani Jun 03, 2023 02:00 AM GMT
krishani

krishani

Report

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදු විය.

දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදුවූයේ ද මිහින්තලා පව්වේ දී භණ්ඩුක උපාසකවරයා පැවිදිකොට මහණ උපසම්පදාව සිදුකිරීම ද පොසොන් පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

මේ අතර, රටේ මතුව තිබූ දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවාතැබීමට සියලුදෙනා අදිටන් කර ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ පිවිතුරු දහමත් එමඟින් පෝෂණය වූ හරවත් බොදු උරුමයත් සුරකිමින් එය ආභාෂය කොට ගතයුතු බවත් අභිමානවත් රටක් ජාතියක් ලෙස ඉදිරියට පැමිණීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ දෙසූ දහම සහ අනුදැන වදාළ ජීවන මග මහෝපකාරී වන බව ජනාධිපතිවරයා සිය පොසොන් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.  

දිවයින පුරා පොසොන් උත්සවය සමරනු ලැබුව ද, ප්‍රධාන උත්සව අනුරාධපුරයේ සහ මිහින්තලේ කේන්ද්‍ර කරගෙන පැවැත් වේ.

ශ්‍රී ලංකාවේ සිල් ව්‍යාපාර, බෝධි පූජා, දන්සල්, පොසොන් භක්ති ගීත, පොසොන් තොරණ සහ පහන් කූඩු වැනි බොහෝ ආගමික කටයුතු ශ්‍රී ලංකාවේ මෙම පොසොන් සමයේ දී සංවිධානය කරයි. 

පොසොන් දිනයේ දී මෙම උතුම් පුණ්‍යකර්මය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින බොහෝ විහාරස්ථාන අටසිල් බැතිමතුන්ගෙන් සහ වන්දනාකරුවන්ගෙන් පිරී යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join