online හරහා බඩු ගෙදරට ආවත් සල්ලි යවන්න එපා- ikman සහ Facebook හරහා යන අලුත්ම ජාවාරම ගැන පොලිසියෙන් රතු එළියක්
ikman සහ Facebook Marketplace වැනි මාර්ගගත වෙළෙඳ වේදිකාවල පළ කරන දැන්වීම් හරහා සිදුවන නව වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන් සහ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් ඇස්බැස්ටෝස් තහඩු, සිමෙන්ති ඇතුළු විවිධ ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි කරන බවට දැන්වීම් පළ කරති.
පාරිභෝගිකයෙකු එවැනි භාණ්ඩ ඇණවුම් කළ පසු, වංචාකරු එම පාරිභෝගිකයාගේ ප්‍රදේශයේ පිහිටි සැබෑ දෘඩාංග වෙළෙඳසැලක් සම්බන්ධ කරගෙන, භාණ්ඩ පාරිභෝගිකයාගේ නිවසට හෝ ඉදිකිරීම් ස්ථානයට යවන ලෙස කටයුතු කරයි.
භාණ්ඩ බෙදාහැරීමෙන් පසු, වංචාකරු පාරිභෝගිකයා අමතා තමන් ලබා දෙන බැංකු ගිණුමකට මුදල් මාරු කරන ලෙස උපදෙස් දෙයි. කෙසේ වෙතත්, භාණ්ඩ බෙදාහැරීමේ රියදුරු හෝ සැබෑ දෘඩාංග වෙළෙඳසැලේ හිමිකරු ගෙවීම ඉල්ලා සිටින අවස්ථාවේදී පමණක් පාරිභෝගිකයා තමන් වංචාවකට හසු වී ඇති බව තේරුම් ගනී.
එවැනි අවස්ථාවකදී, වංචාකරුට මාරු කළ මුදල මෙන්ම ලැබුණු භාණ්ඩ සම්බන්ධයෙන්ද පාරිභෝගිකයාට පාඩුවක් සිදුවිය හැකිය.
මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා පොලිසිය පහත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.
- භාණ්ඩ නිවසට හෝ ඉදිකිරීම් ස්ථානයට බෙදාහැර තිබූ පමණින් මාර්ගගතව ගෙවීම් සිදු නොකරන්න.
- බෙදාහැරීමේ රියදුරු හෝ අදාළ දෘඩාංග වෙළෙඳසැලේ හිමිකරු සමඟ සෘජුව සම්බන්ධ වී ගනුදෙනුවේ සත්‍යතාව තහවුරු කරගන්න.
- බැංකු හුවමාරුවක් සිදු කරන්නේ නම්, අදාළ දෘඩාංග වෙළෙඳසැලේ නමින් ලියාපදිංචි කර ඇති නිල බැංකු ගිණුමට පමණක් මුදල් යොමු කරන්න.
- හැකි සෑම අවස්ථාවකදීම භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ ක්‍රමයක් තෝරා ගැනීමට කටයුතු කරන්න.