කළුතර නාගොඩ රෝහලේ අලුත් පහසුකම් රැසක් ජනතා අයිතියට – රුපියල් මිලියන 134ක නවීකරණයක්
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික මුදලක් වැය කර නවීකරණය කළ ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ජනතා අයිතියට පත් කෙරිණි.
රෝගීන්ට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ පහසු සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම රෝහලේ සේවා ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදුකර තිබේ.
ඒ යටතේ බාහිර රෝගී අංශය, ප්‍රධාන ඖෂධාගාරය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සෞඛ්‍ය සේවා ගොඩනැගිල්ල සහ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුව ඇතුළු ඒකක කිහිපයක් නවීකරණය කර ඇත.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය, හෙද විවේක කාමරය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමරයද නවීකරණය කර තිබේ. අලුතින් ඉදිකළ සුළු සේවා පාලක කාර්යාලයද මෙහිදී අමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රාජ්‍ය මුදල් නිසි කළමනාකරණයකින් සහ ප්‍රමුඛතා හඳුනාගනිමින් කාර්යක්ෂමව වැය කිරීම තුළින් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ශක්තිමත් කිරීමට හැකි වී ඇති බවයි.
මේ අතර, ඉදිකිරීම් ආරම්භ කර අතරමග නතර කර ඇති රෝහල් ව්‍යාපෘති යළි ආරම්භ කර ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු පැවසීය.
රෝහල්වල ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමටද රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව රුපියල් මිලියන 3,150ක වියදමින් නවීන කැත් ලැබ් (Cath Lab) 16ක් දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, CT සහ MRI යන්ත්‍ර ඇතුළු නවීන වෛද්‍ය උපකරණ ලබාදීමටද කටයුතු කරමින් පවතින බව සඳහන් කළේය.
එමෙන්ම ලබන වසරේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳ ලැයිස්තුව මේ වනවිට සකස් කරමින් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.