පොලිස් නිලධාරියෙක් මහමඟ පුද්ගලයෙකුට පහරදුන් සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි

By Sithumi Dec 24, 2021 10:56 AM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් සංසරණය වෙමින් පවතින පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. එම සිද්ධිය ඊයේ (23) සවස් කාලයේදී කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී සිදුවී තිබේ. අපරාධකරුවෙකු පාලනය කරගැනීමේදී වුවද පොලිස් නිලධාරියෙකුට අවශ්‍ය බලය ඉක්මවා කටයුතු කළ නොහැකි බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

මෙම සිද්ධියේදී පොලිස් නිලධාරියා විසින් අනවශ්‍ය ලෙස පහරදී බලය ඉක්මවා කටයුතු කිරීමක් නිරීක්ෂණය වන බවද එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අදාළ සැකකරු එම සිද්ධියට පෙර නගරයේ වෙළෙඳසැළකට පැමිණ කාන්තාවකට යකඩයකින් පහරදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සැකකරු බීමත්ව අශෝභන ලෙස හැසිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හට සැකකරු බැණවදිමින් පහරදීමට නිලධාරීන් දෙසට පැමිණීම හේතුවෙන් ඔහුව පාලනය කරගැනීමට එලෙස සිදුකළ බව පහරදුන් පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත. 

 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අදාළ සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන නඩු පවරා බන්ධනාගාර ගතකර සිටි අයෙකි. ඔහුට එරෙහිව බන්ධනාගාරය තුළදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමට අදාළව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩුවක් ද විභාග වෙමින් පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now