මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු කොටු
ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සමග ඔවුන් සතුව තිබූ මත්කරල් 2,000ක්ද පොලිස් භාරයට ගැනීමටද නිලධාරීන් කටයුතු කර තිබේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයින් යොදවා සිදුකළ මෙම වැටලීමේදී ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී මෙම මත්කරල් තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය සදහන් කළේ නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්පෙති සඟවා තිබූ බවත් එහි තිබී මත්කරල් අඩංගු පාර්සල් 20ක් සොයා ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 සහ 24 යන වයස්වල පසුවන කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙම සැකකරුවන් කලක සිට පාසල් දරුවන් සහ ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවත් පොලීසියට අනාවරණය කර ඇත .
එම සැකකරුවන් විසින් මත්කරල් 10ක් අඩංගු කාඩ්පත් 10ක් සහිත පාර්සලයක් රුපියල් 10,000ක මුදලකට අලෙවි කර ඇති බවත් නිලධාරීන් භාරයට ගත් මත්කරල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය කර ඇත.
පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද වන බවයි.
තවද සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පොල්ගහවෙල පොලීසිය විසින් සිදුකරනු ලබයි.
මෙම සැකකරුවන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.