නීතිවිරෝධී මත්පැන් පානයෙන් 6 දෙනෙකු මියයෑමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

By Shehan Jan 08, 2026 03:35 AM GMT
Report

නීති විරෝධී මත්පැන් පානය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 47ක් වන අතර ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 5 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර, ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මරණ සිදු වූ බව තහවුරු වී ඇත. අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) හලාවත රෝහලේදී සිදු කිරීමට නියමිතය.

මත්පැන් පානයෙන් රෝගාතුර වූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු මීගමුව හා පේරාදෙනිය රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය ජනවාරි 6 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ආරම්භයේදී සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව, ඔවුන් දෙදෙනා ජනවාරි 07 වැනිදා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ජනවාරි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. වෙන්නප්පුව පොලිසිය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.