ලෝක වැඩිහිටි දිනයත් අදයි - අග්‍රාමාත්‍යවරියගෙන් නිවේදනයක්
ලෝක වැඩිහිටි දිනය ද අදට (01) යෙදී ඇත. ඒ අනුව මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, “චිර ජීවන යුගය - දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම ගැන නැවත සිතමු” යන්නයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි, ආබාධ පුද්ගලයන් සදහා වූ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ශිරෝමී මාධවගේ මහත්මිය ප්‍රකාශ කළේ මේ වන විට රට තුළ වැඩිහිටි ජනගහනයේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර වැඩිහිටියන් රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි.
එසේම අග්‍රාමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කර ඇත්තේ, අප මාතෘ භූමියේ අභිවෘද්ධිය සහ සමෘද්ධිය වෙනුවෙන් ස්වකීය ජීවිතයේ අගනාම කාලයත්, ශ්‍රමයත් කැප කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත සිය සුබපැතුම් පිරිනමන බවටයි.
ඒ අනුව ඇය අවධාරණය කර ඇත්තේ සමාජයේ සැබෑ අත්තිවාරම බඳු ජ්‍යෙෂ්ඨ ප්‍රජාව සතු ප්‍රඥාව, අත්දැකීම් සම්භාරය සහ මාර්ගෝපදේශනය, දේශයේ අනාගත ගමන් මඟ ඒකාලෝක කරන වැදගත් සම්පතක් බවයි.
උපුටාගැනීම,
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන්නෙන් අප අපේක්ෂා කරන්නේ හුදෙක් භෞතික හෝ ආර්ථික සංවර්ධනය පමණක් නොවේ. යහපත් සමාජයක සැබෑ ශිෂ්ටසම්පන්නභාවය එම සමාජය තුළ ජ්‍යෙෂ්ඨ ප්‍රජාවට හිමිවන සුරක්ෂිතතාව, ගෞරවය සහ අභිමානය මත ද තීරණය වේ. එබැවින් වැඩිහිටි ප්‍රජාව උදෙසා වන රාජ්‍ය වගකීම හුදෙක් සහනාධාර රාමුවකට සීමා නොකොට, ඔවුන්ගේ මානව අයිතිවාසිකම්, ස්වාධීනත්වය සහ සමාජීය ගෞරවය සුරක්ෂිත කෙරෙන සම්පූර්ණ ජාතික වගකීමක් ලෙස ඉටු කිරීමට අප රජය කැපවී සිටී. වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කරමින් මාසික වැඩිහිටි දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමටත්, තැන්පතු වෙනුවෙන් වූ අතිරේක පොලී හිඟ මුදල් පියවා දැමීමටත් අප රජය පියවර ගත්තේ ඒ අරමුණ ඇතිවය. භාෂා ත්‍රිත්වයෙන්ම එළිදැක්වූ නව ජාතික වැඩිහිටි ප්‍රතිපත්තිය සහ වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වර්තමාන අවශ්‍යතාවලට අනුකූලව සංශෝධනය කිරීම හරහා ජ්‍යෙෂ්ඨ වැසියන්ගේ රැකවරණය රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රමුඛ කාර්යයක් බවට අප රජය පත් කළෙමු. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට යමින් කතරගම 'Silver Age Centre' වැනි සර්ව සම්පූර්ණ සත්කාරක මධ්‍යස්ථාන ආරම්භ කිරීම, නේවාසික වැඩිහිටි නිවාස සඳහා උසස් නියාමන ප්‍රමිතීන් හඳුන්වා දීම මෙන්ම ආසියානු සංවර්ධන බැංකු සහයෝගිතාව යටතේ නවීන පහසුකම් සහිත සත්කාරක මධ්‍යස්ථාන පිහිටුවීම සහ වෘත්තීය මට්ටමේ සත්කාරක බලකායක් බිහිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ද දැනටමත් ක්‍රියාත්මක වේ. 'ආරෝග්‍යා' සහ 'සුවපහසු' වැඩසටහන් හරහා සෞඛ්‍ය පහසුකම් සපයන අතරම, නූතන තාක්ෂණික දියුණුව හමුවේ අපගේ ජ්‍යෙෂ්ඨ නාගරිකයන් තනි නොවන පරිදි ඔවුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව සහ සයිබර් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩසටහන් ද අප දියත් කර ඇත. එමෙන්ම, ක්ෂේත්‍ර මට්ටමේ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට අදාළ රාජ්‍ය ආයතන එක් ව්‍යුහයකට ගොනු කර ඇති අතර, වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය සක්‍රිය ආර්ථික පාර්ශවකරුවන් ලෙස රාජ්‍ය සංවර්ධනයට දායක කරගැනීමේ "රජත ආර්ථික" (Silver Economy) ප්‍රතිපත්තිය ද අප ප්‍රායෝගික තලයට ගෙනැවිත් තිබේ. අපගේ වැඩිහිටි ප්‍රජාව යනු අතීත මෙහෙවර නිමකළ පිරිසක් නොව, අප ගොඩනඟන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන අනාගත සිහිනය කරා මගපෙන්වන්නන් ලෙස අපි සළකමු. ඔබගේ අත්දැකීම්වලට සුදුසු උසස්ම ගෞරවය ලබාදෙමින්, සුරක්ෂිත සහ සතුටුදායක හෙට දවසක් තහවුරු කිරීමට අප රජය බැඳී සිටින බව ප්‍රකාශ කරමි. අභිමානවත් ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ සැම ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබ සැමට නීරෝගීභාවය, චිරජීවනය සහ සුවපත්භාවය ප්‍රාර්ථනා කරමි!"
- උපුටාගැනීම අවසන් -