පරණ දේශපාලන තන්ත්‍රය ගැන ජගත් මනුවර්ණගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
රටේ ජනතාව විසින් සිදුකර ඇති දේශපාලන වෙනස ආපසු හැරවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන ලෙස තමන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසයි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට පැවති ප්‍රභූ දේශපාලන තන්ත්‍රයෙන් ජනතාව වෙත බලය මාරු වී ඇති බවයි.
අතීතයේදී පාලන තන්ත්‍රයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අදහසක් පළ කිරීමට පවා නිදහසක් නොතිබූ බව සඳහන් කළ ඔහු, එලෙස අදහස් පළ කළ පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකළ අවස්ථා මෙන්ම ඝාතන සිදුවීම්ද පැවති බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, වර්තමානයේදී ආණ්ඩුවේ ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීමට ජනතාවට හැකියාව පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තරුණ පරපුර ඉල්ලා සිටි නිදහස ලෙස තමන් දකින්නේද මෙම අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය බව ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් පැවසීය.