“නීතියට වඩා දෙමාපියන්ගේ බැඳීම බලවත්” - මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් සැර පණිවිඩයක්
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම දෙමාපියන් සහ දරුවන් අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමද අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ව්‍යසනයේ බරපතළකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳව දෙමාපියන් සෘජුව දැනුවත් කරමින්, දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් සක්‍රීයව දායක කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දරුවෙකු මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින අවස්ථාවකදී ඒ පිළිබඳව දෙමාපියන්ට දැනුම් දීමට විශ්වසනීය පුද්ගලයකුගේ සහාය අවශ්‍ය විය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එවැනි අවස්ථාවලදී ගුරුවරුන් හෝ ආගමික නායකයන්ගේ සහාය ලබාගැනීම සාමාන්‍යයෙන් සිදුවන බැවින්, විශ්වසනීය මගපෙන්වීමක් ලබාදිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය. ගුරුවරුන් ඒ සඳහා යොදාගන්නේ නම් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය බිඳ දැමීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කිරීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම වී ඇති අතර, දෛනිකව නිකුත් කරන රස පරීක්ෂක වාර්තා සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මෙහිදී සඳහන් කෙරිණි.
සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත්, නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සක්‍රීය කර ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය විය.
රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමට හැකිවීම හේතුවෙන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ඇප මත මුදාහැරීමට හැකිව ඇති බවත්, එමඟින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීමට හැකිව ඇති බවත් සඳහන් කෙරිණි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මත්ද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් පළමු සතියේදී අදාළ කමිටුව වෙත යොමු කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ඔක්තෝබර් තුන්වැනි සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
පොලිසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධ කෙරෙන මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් සහ මෘදුකාංගයක් නිර්මාණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එහි පවතින ප්‍රායෝගික ගැටලු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
2025 අංක 07 දරන පනතට අනුව විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණ වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ සෘජුව යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම නීති කෙටුම්පත් කාර්යාලයේ පවතින නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.
මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිවිපාක පිළිබඳව තරුණ පරපුර ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ජාත්‍යන්තර පාසල් තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
යුද්ධයෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය අභියෝගය සහ එය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් සහ ඊට අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දී ඇති 1818 දුරකථන අංකය සක්‍රීයව පවත්වාගෙන යාමත්, එම අංකයට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කරමින් එම සේවාව කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමත් වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීම ඇතුළු පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීය.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා සහ ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලා එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සහ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ සාමාජික සාමාජිකාවන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ලංකාවට මහ බැංකු අධිපතිගෙන් ඊළඟ අවුරුද්දටත් රතු එළියක් - උද්ධමනය ඉදිරියටත් ඉහළ මට්ටමකම තිබෙන බවට පුරෝකථනයක්