ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී රුමේශ් තරංගට ජපානයෙන් Honda Vezel රථයක්
ජපානයේ නගෝයාහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගත් රුමේශ් තරංගට නවතම Honda Vezel මෝටර් රථයක් තිළිණ කිරීමට ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ) පියවර ගෙන තිබේ.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැවති පැසසුම් උත්සවයකදී මෙම තිළිණය ප්‍රකාශයට පත් කර ඇති අතර, නගෝයා සිට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර දිනයේ මෙම උත්සවය පැවැත්විණි.
ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ නගෝයා පළාතේ උප සභාපති නිශාන්ත මීගල්ල මහතා සඳහන් කළේ, ඉදිරියේදී ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනාගන්නා සෑම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටම නව මෝටර් රථයක් පිරිනැමීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුම් උත්සවයට කැඳවා තිබූ අතර, එම අවස්ථාව වන විට රන් පදක්කමක් දිනා සිටි එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ රුමේශ් තරංග බවද ඔහු සඳහන් කළේය.
රුමේශ් තරංග මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම හිමිකර දුන්නේය.
එම ජයග්‍රහණයත් සමඟ ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනාදීමටද ඔහු සමත් විය.
තරංගගේ මෙම ජයග්‍රහණය අගය කරමින් ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව එක්ව මෙම විශේෂ තිළිණය පිරිනැමීමට කටයුතු කර තිබේ.