මෙරට එක් දිස්ත්‍රික්කයක සියලුම පුද්ගලයන්ට "ෆයිසර්" එන්නත..? අනුමැතිය ලැබුණේ කාගෙන්ද..?

covid19 pfizer WHO hambanthota
By Sewvandhi Sep 04, 2021 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 18 ට අඩු වයස් වල දරුවන් සඳහා නිර්දේශ කර ඇති ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්ක ජනතාවට ලබා දෙන්නේ කාගේ වුවමනාවට දැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්ගේ සංගමය ප්‍රශ්න කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන් පසෙකලා හම්භන්තොට දිස්ත්‍රික්කයේ පිරිසකට එම එන්නත ලබා දෙන්න තීරණය කලේ අවශ්‍යතාවය මතදැයි පැහැදිලි කළ යුතු බවයි.

හම්බන්තොට සිටින්නේද මෙරට පුරවැසියන් නිසා අනෙක් පුරවැසියන් ඔවුන්ටද හිමි එන්නත ලබාදීමට ගැටලුවක් නොවන නමුත් තරුණ සේවා සභාව සහ යුද හමුදාව පමණක් දායක කරගනිමින් දිස්ත්‍රික්කයට පමණක් ෆයිසර් එන්නත ලබාදීමේ විද්‍යාත්මක හේතුව කුමක්දැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ඉතා සීමිත ගණනක් ලැබෙන Pfizer එන්නත වයස අවුරුදු 12-17ත් අතර පාසල් දරුවන්ට ලබාදීම වඩාත් යෝග්‍ය බව අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  (සැප්. 3) දින සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායටත් ලිඛිතව දැනුම් දී තිබේ.

එමගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව වයස අවුරුදු 18ට අඩු සහ වයස අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා ලබාදීමට මෙතෙක් අනුමැතිය ලැබී ඇති සහ නිෂ්පාදකයින්ගේ අනුමැතිය ඇති එක ම කොවිඩ් එන්නත් වර්ගය Pfizer එන්නත බවය.

මේ වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත්කරණය සඳහා පහසුවෙන් ලබා ගත හැක්කේ Sinopharm එන්නත සහ Pfizer එන්නත බවත් Sinopharm එන්නත සඳහා අනුමැතිය ලැබී ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා ලබා දීමට පමණක් බවත් එම සංගමය පෙන්වා දී තිබේ. එබැවින් වයස අවුරුදු 18ට වැඩි ජනතාව සඳහා එන්නත්කරණය කිරීමට Sinopharm එන්නත භාවිතා කළ හැකි බවත් ඉතාමත් සීමිතව ලැබෙන Pfizer එන්නත් මාත්‍රා වයස අවුරුදු 12-17ත් අතර පාසල් දරුවන් සඳහා ලබාදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවත් ඔවුන් පෙන්වාදී ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනුව Pfizer එන්නත් මාත්‍රා මිලියන 4ක් ඔක්තෝබර් මාසය වන විට ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත බව ද ඔවුන් එම ලිපිය මගින් දන්වා තිබේ. වයස අවුරුදු 12-17ත් අතර පාසල් දරුවන්ගේ ජනගහනය දළ වශයෙන් මිලියන 2-2.4 වන බවත් එම වයස් කාණ්ඩයට ඇතුළත් වන දරුවන් එන්නත්කරණය කිරීම සඳහා Pfizer එන්නත් මාත්‍රා දළ වශයෙන් මිලියන 4-4.8ක් අවශ්‍ය වන බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

මේ වන විට ‍ශ්‍රි ලංකාවට ලැබී ඇති Pfizer එන්නත් මාත්‍රා ගණන 811,220ක් බවත් එයින් Pfizer එන්නත් මාත්‍රා 306,421ක් පළමු මාත්‍රාව ලෙසත් එන්නත් මාත්‍රා 187,019ක් දෙවන මාත්‍රාව ලෙසත් ලබා දී ඇති බව ද ඔවුන් එම ලිපියේ සඳහන් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now