දරුණු රිය අනතුරක් - ගැබිණි ග්‍රාම නිළධාරීනිය මරුට
අනුරාධපුරයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් ගැබිණි ග්‍රාම නිලධාරිනියක් සහ කුසහොත් බිළිඳා මරුට අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේදී සිදුවූ බරපතළ රථවාහන අනතුරකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි ග්‍රාම නිලධාරිනියක් සහ ඇයගේ කුස තුළ සිටි නොදරුවා ඊයේ (27) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව කවරක්කුලම පොලීසිය පවසයි.
මෙලෙස අකාලයේ මෙලොව හැරගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මහබුලංකුලම 283 තුලාන ප්‍රදේශයේ රාජකාරී කළ ආර්. එම්. භාග්‍යා නිළුපුලී වඩුගොඩපිටිය නැමැති 32 හැවිරිදි තරුණ නිලධාරිනියකි.
පොලිස් වාර්තාවලට අනුව, ඉකුත් 18 වැනිදා මෙම ග්‍රාම නිලධාරිනිය තවත් කාන්තාවක් සමඟ යතුරුපැදියකින් කවරක්කුලම දෙස සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී ඔවුන් ගමන් කළ දිශාවෙන්ම පසුපසින් පැමිණි සැහැල්ලු ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ පිටුපස දැඩි ලෙස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනාම බරපතළ තුවාල ලැබූ අතර, වහාම ඔවුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනුණි.
එහිදී දින කිහිපයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ග්‍රාම නිලධාරිනිය ඊයේ අවසන් හුස්ම හෙළා ඇති අතර, ඇය මියයාමට පෙර ඇයගේ කුස තුළ සිටි කුඩා බිළිඳා ද මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
මෙම මාරාන්තික රථවාහන අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් සැහැල්ලු ලොරි රථය පදවාගෙන පැමිණි, අනුරාධපුර මිහින්තලේ පාර, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකුව කවරක්කුලම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.