සජිත් කාන්තාවන් වෙනුවෙන් හඩ නගයි - කාන්තා සෞඛ්‍යය ගැන ෆේස්බුක් සටහනක්
කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් "කාන්තාවන්ගේම ගැටලුවක්" පමණක් නොව, එය සෑම පවුලකම පැවැත්මේ අඩිතාලම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ .
ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය වෙනුවෙන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත.
අපගේ නිවෙස් තුළ වැඩිම රැකවරණ බරක් උසුලන කාන්තාවන්ට, අන් අය රැකබලා ගැනීම වෙනුවෙන් තමන්ගේම සෞඛ්‍යය සහ යහපැවැත්ම නොසලකා හැරීමට සිදු නොවිය යුතු බව අදාළ සටහන මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබේ .
එහිදී
"අපේ මව්වරුන් සහ දියණියන් තමන් විඳින වේදනාවන් නිහඬව විඳදරාගත යුතු යැයි අපේක්ෂා කරන, ඒ වෙනුවෙන් විවෘතව කතා කරන හෝ සහාය පතන අයව විවේචනයට ලක් කරන ආකාරයේ කෙබඳු සමාජයක්ද අප මේ ගොඩනඟමින් සිටින්නේ?" යනුවෙන් ප්‍රශ්න කර තිබේ .
තවද වර්තමාන දියුණු සමාජයේ කිසිදු තැනක 'ඔසප් දරිද්‍රතාවය' (Period Poverty) නමැති කටුක යථාර්ථය නොපැවතිය යුතු බවත්, එය මානුෂීය සමාජයකින් සහමුලින්ම තුරන් කළ යුත්තක් බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මඟින් සිහිපත් කර දී තිබේ .
ලෝක ඔසප් සෞඛ්‍යාරක්ෂක දිනය 'World Menstrual Hygiene Day'සෑම වසරකම මැයි මස 28 වෙනිදාට ලොව පුරා සමරනු ලබන ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයක් වේ.
එහි ප්‍රධාන අරමුණ වන්නේ ඔසප් වීම පිළිබඳව සමාජය තුළ පවතින අනවශ්‍ය ලැජ්ජාව සහ මිථ්‍යා මත දුරු කර, කාන්තාවන්ට සහ දියණියන්ට සුරක්ෂිත මෙන්ම ගෞරවනීය ලෙස තම ආර්ථව සෞඛ්‍යය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.