චීන ජාතිකයන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලූ වැලිකඩ OIC රිමාන්ඩ්
රාජගිරිය ප්‍රදේශයේදී මෑතකදී අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතිකයන් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර නැවත නිදහස් කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින් මහා පරිමාණයෙන් අල්ලස් මුදල් ඉල්ලා සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම දූෂණ ක්‍රියාවට සම්බන්ධ සැකකාර පොලිස් පරීක්ෂකවරයාව විශේෂ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළව පැමිණිල්ල වෙනුවෙන් සහ සැකකාර ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි දෙපාර්ශ්වයේම නීතිඥවරුන් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එළඹෙන ජුනි මස 09 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.