හජ් වෙනුවෙන් පල්ලියට ගිහින් ආයේ ගෙදර එද්දි පත්තු වූ කළුතර වෙඩිල්ලේ තොරතුරු එළියට - මරණ තර්ජනත් තිබිලා [UPDATE]
කළුතර වෙට්ටුමකඩ පල්ලියපාර ප්‍රදේශයේදී අද(28) දින පෙරවරු 8 පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණා.
එහිදී යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ අතර ඔහු තුවාල ලබා කළුතර දකුණ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.
පොලීසිය සඳහන් කළේ හජ් උත්සවය වෙනුවෙන් පල්ලියට ගොස් යළි නිවස බලා යමින් සිටි පුද්ගලයෙක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ බවයි.
මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් ගමන්කරමින් සිටි අතර ඔහු එන මඟ හරස් කරමින් මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබුණා. එසේම වෙඩි තබන අයුරු ද ඒ අසළ CCTV කැමරාවක සටහන් වී ඇත.
මෙසේ වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ කළුතර දකුණු මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බව සදහන්.
එසේම පෞද්ගලික හේතුවක් මෙම වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. තවද පොලීසිය ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කළුතර නවීන්ගේ ගෝලයෙක් වන ඉම්රාන් නමැත්තෙකු විසින් මියගිය පුද්ගලයාට මීට පෙර මරණ තර්ජන එල්ලකර ඇති බවට ද තොරතුරු වාර්තා වන බවයි.
එසේම ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය ඊයේ රාත්‍රියේදී මරික්කාර් වීදියේ පිහිටි ඉම්රාන්ගේ නිවසට ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වේ.
කෙසේ වුවත් ඝාතනයට හේතුව මෙතෙක් නිෂ්චිතවම හඳුනාගෙන නොමැති බව සඳහන්.
මෙම වෙඩි තැබීමත් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වසරේ මේ දක්වා කරනු ලැබූ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 15ක් දක්වා ඉහළ ගිය අතර ඉන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 8 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.