අනුරපුරයෙන් කණගාටුදායක අනාවරණයක් - අනාරක්ෂිත දරුවන් 5000කට අධික සංඛ්‍යාවක්
මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමුන් 5780 ක් ලිංගික හිංසනයට හෝ දූෂණයට ගොදුරු වීමේ අවදානමට ලක්ව ඇති බවයි.
උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ටී.බී. සුගතපාල මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසුවේ ඔවුන් වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දරුවන් බවයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ සම සභාපතිත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්විය.
මෙම වැඩටහනට ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, වැඩබලන දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් දීපාල් සිරිමාන්න සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වූහ.
එහිදී සදහන් කර තිබෙනුයේ ඔවුන්ගෙන් 4,248 ක් අධි අවදානම් කාණ්ඩයට අයත් වන අතර අනාරක්ෂිත දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයෙන් බවයි.
ලිංගික ප්‍රචණ්ඩත්වය භයානක අනුපාතයකින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 36 ක් වාර්තා වී තිබේ.
මෙම වසරේ පසුගිය මාස පහ තුළ පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 24 ක් වාර්තා වී ඇත. පවුල් කිහිපයක දෙමාපියන් විදේශ රැකියාවල නියුතු වන අතර තම දරුවන් ඥාතීන්ගේ රැකවරණය යටතේ තබයි.
''බොහෝ විට දෙමාපියන් තම දරුවන් නොසලකා හරින අතර ඔවුන්ට රැකවරණය සහ අවධානය ලබා දීමට අපොහොසත් වේ” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
අනාරක්ෂිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති අය පිළිබඳව පොලිසිය විමසිල්ලෙන් සිටින බවත් ඔවුන්ට සිදුවිය හැකි ඕනෑම අනතුරක් වැළැක්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.