සන්රයිසස් කණ්ඩායම පැරදූ රාජස්ථානය අවසන් සටනට ළං වෙයි

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටයේ දෙවන තරගයෙන් (Eliminator) සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ දින සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන ලදි .

ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ වයිභව් සූර්යවංශි පන්දු 29කට පමණක් මුහුණ දෙමින් ලකුණු 97ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහුගේ එම ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 12ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වේ.

මෙහිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 244ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට රාජස්තාන් පන්දු යවන්නන් හමුවේ නොහැකි විය.

සන්රයිසස් කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 19.2ක් තුළ ලකුණු 196කට සීමා කිරීමට රාජස්ථාන් පන්දු යවන්නන් සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමගින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියේ මීළඟ තීරණාත්මක තරගය ‘Qualifier-2’සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි. එම තරගය මැයි 29වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

    එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) සමඟින් අහ්මදාබාද්හිදී මෙවර ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත