විපක්ෂ නායකවරයාගෙන් විශේෂ නිවේදනයක්..

Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Apr 25, 2022 01:18 AM GMT
krishani

krishani

Report

ජන ජීවිත අවුල් කරන මාර්ග බාධක ඉවත් කරනු ! ජනතා බලය අවබෝධ කරගන ” යන පාඨය යටතේ විපක්ෂ නායකවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..,

ජනතා බලය නැමති සුනාමියට හසුව විනාශය ලගාකරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය මර්ධනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටී. එහි ආසන්නතම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමය.

ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩනකාරී තත්ත්වයකට පත් ව තිබේ.

මේ රටේ සරසවි සිසුන් ප්‍රමුඛව විරෝධතා කිහිපයක් කොළඹට පැමිණීමට නියමිත වීම ආණ්ඩුවේ භීතියට හේතුවී ඇති අතර මෙය විහිළු සහගත මාර්ග බාධක තුළින් ජනතා විරෝධය නතර කළ නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුය.

දෙවසරක් තිස්සේ මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා ඇති අතර ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු සියල්ල මේ වන විට අකර්මණ්‍ය වී තිබේ.එමෙන්ම මේ රටේ පුරවැසියන්ගෙන් කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට ද ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා දැක්වීමට ඇයිති අයිතිය උල්ලංඝනය කිරීමට ආණ්ඩුවට හෝ කිසිදු බලවේගයකට නොහැක.

එක් අතකින් දෙසතියකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බිත්ති හතරක් මැදට කොටු කිරීමට ජනතාව කටයුතු කොට තිබේ. දැන් ආණ්ඩුව සූදානමින් සිටින්නේ සිය ත්‍රස්ත පන්නයේ මර්දනය යොදාගෙන ස්ථිර මාර්ග බාධක ඉදි කොට තමන් කොටු වී ඇති සීමාව යම් පමණකට පුළුල් කොට ගැනීමටය.

ආණ්ඩුව පිළිබඳව ජනතා විරෝධය පුපුරා ගොස් ඇති මොහොතක එකී ජනතා විරෝධය ආපසු හැරවීමට ආණ්ඩුව සතුව කිසිම තුරුම්පුවක් නැති අතර රට ගොඩනඟනවා තබා රට ගොඩනගන්නට සිතන්නටවත් ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැත. ජනතා අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය වෙනුවෙන් අන්තනෝමතික පාලනයක යෙදුණු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති මේ ජනතා බලවේග, කොන්දේසි විරහිතව සර්ව සාධාරණ යැයි අප තිරව විශ්වාස කරන අතර,ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව විසින් එල්ල කරනු ලබන ඕනෑම මර්දනයකට එරෙහිව පෙරළා මැදිහත්වීමට සමගි ජන බලවේගය දෙවරක් නොසිතන බවද අවධාරණය කරමු.

එබැවින් මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ අයිතිවාසිකම් වලට එරෙහිව ආණ්ඩුව ගනු ලබන මෙම අන්තනෝමතික ක්‍රියා මාර්ග නොවළහා හකුළා ගත යුතු බවත්,ආණ්ඩුවේ ඉරණම පිළිබඳව අවසන් කෙලවරේ සිටියදී හෝ මේ අමනෝඥ තීරණ තුලින් ජනතා පීඩනය තවදුරටත් තීව්‍රර නොකරන ලෙසත් අපි ආණ්ඩුවට බල කොට සිටිමු.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join