2027 මුලදී පළාත් සභා ඡන්දය පැවැත්වෙයිද? - පැෆරල් සංවිධානයෙන් හෙළිදරව්වක්
පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු කිහිපයක්ම වගකිව යුතු බවත්, එම ප්රමාදයට වත්මන් ආණ්ඩුව වගකිව යුතු නොවන බවත් පැෆරල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ මාධ්ය හමුවකට එක්වෙමිනි.
පළාත් සභා මැතිවරණය අවසන් වරට පැවැත්වූ ඇතැම් පළාත්වල ජනතාව වසර ගණනාවක සිට ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාවක් නොලැබ සිටින බවත්, 2017 වසරේ ගෙන ආ යෝජනාවලියක් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම ප්රමාද වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවට ද මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වගකීමක් පැවරී ඇති බවත්, ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයෙන් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ දෙකම පැවැත්වීමට පොරොන්දු වී තිබූ නමුත් මෙතෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වී නොමැති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මැතිවරණය පැවැත්විය යුතු ක්රමවේදය තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවට මාස තුනක කාලයක් ලබා දී තිබුණද, අවස්ථා දෙකකදී එහි කාලය දීර්ඝ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
තවදුරටත් කල් නොදමා ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගෙන මැතිවරණය පැවැත්වීමට පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, අදාළ කමිටුව සහ ආණ්ඩුව කඩිනමින් තීරණයක් ගන්නේ නම් 2027 වසරේ මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.