පාරිභෝගික සමූපකාර සංගමයේ ලක්ෂ 17ක් අවභාවිත කළ හිටපු CEO ඇතුළු සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
By Mithu
පාරිභෝගික සමූපකාර සංවර්ධන සංගමයේ රුපියල් ලක්ෂ 17ක මුදලක් අවභාවිත කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි හිටපු ප්රධාන විධායක නිලධාරිවරයා ඇතුළු සිව්දෙනා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.
සැකකරුවන්ගේ ඇප නියෝගය ප්රකාශ කිරීම සඳහා නඩුව අධිකරණය හමුවේ කැඳවූ අතර, ඉදිරි දිනයකදී ඊට අදාළ ඇප නියෝගය නිකුත් කරන බව දැනුම් දෙමින් මහේස්ත්රාත්වරයා මෙම තීන්දුව ලබා දී ඇත.
කොළඹ මූල්ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිටපු වෙළඳ අමාත්යවරයාගේ පාලන සමයේ පාරිභෝගික සමූපකාර සංවර්ධන සංගමයේ සේවය කළ හිටපු ප්රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකි.