මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිළිබඳව අවාසනාවන්ත අනාවරණයක්
2018 වසරේ සිට 2022 දක්වා වූ කාලසීමාව තුළ මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආයතන ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් විවිධ හේතූන් මත වසා දමා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය.
අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, රටේ පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ පමණක් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන එක්ලක්ෂ අටදහසක් (108,000) සිය මෙහෙයුම් නතර කර ඇති බවයි.
මීට අමතරව වෙනත් විවිධ හේතූන් මත තවත් ආයතන එක්ලක්ෂ පනස්පන්දහසක් (155,000) වසා දමා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙරට ආර්ථිකයේ කොන්දේ නම බඳු මෙම ව්‍යාපාරික අංශයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවත්, එම ක්ෂේත්‍රය යළි නගාසිටුවීම සඳහා අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
"ආයතන ලැයිස්තුව සකස් කරන්නේ, අවුරුදු 10කට සැරයක්. අවසන් සංගණනය සිදු කරලා තියෙන්නේ 2013 වසරේදී. කෙසේ වුණත්, 2018-2022 කාලයේදී ජන ලේඛනය හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයට අදාළව සමස්ථයක් වශයෙන් ආයතන මිලියන 1.3ක් තියෙනවා. දැනට ක්‍රියාත්මකව පවතිනවා දස ලක්ෂ තිස්හත්දහසක්. ආර්ථික අර්බුදය නිසා වසා දැමුණ සංඛ්‍යාව එක්ලක්ෂ අට දහයි. ආර්ථික අර්බුදයට අමතරව වෙනත් හේතු නිසා වසා දැමුණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස්පන්දහයි."