විමර්ශන වාර්තාවෙන් පසු රජය නිහඬයි - පොහොට්ටුවෙන් ආණ්ඩුවට කනේ පාරක්
මතභේදාත්මක ගල් අඟුරු ආනයන සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලයක් තුළ විගණනයක් සිදු කරමින් රජයේ සැබෑ ස්ථාවරය රටට හෙළි කළ විගණකාධිපතිවරයාට ස්තූතිය පළ කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ගල් අඟුරු ආනයනයේ කිසිදු දූෂණයක් සිදු නොවූ බව රජය දිගින් දිගටම ප්‍රකාශ කළද, විගණකාධිපති වාර්තාව නිකුත් වීමෙන් අනතුරුව එම අදහස් සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරු ලබාදීමට රජයට නොහැකි වී ඇති බවත්, එය රජයේ නිහඬතාවයෙන් පැහැදිලි වන බවත් ඔහු චෝදනා කළේය.
ජනාධිපතිවරයා ඇතුළු රජයේ සියලු මට්ටම් මෙම ගල් අඟුරු ගැටලුවට සම්බන්ධ වී ඇති අතර, එමගින් ඇති වූ පාඩුව ජනතාව මත පැටවීමට රජය සූදානම් වෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය. අප්‍රේල් 1 වනදා සිට විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු, තවත් සියයට 15ක වැඩිවීමක් ඉල්ලා සිටීම ගල් අඟුරු හිඟය හේතුවෙන් ඩීසල් විදුලි නිෂ්පාදනයෙන් සිදු වූ පාඩු පියවා ගැනීමට බව රජය පවසන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම සම්පූර්ණ පාඩුව අදාළ පෞද්ගලික සමාගමෙන් අයකර ගත යුතු බව අවධාරණය කළ ඔහු, එම සමාගම ආරක්ෂා කිරීම සඳහා පාඩුවෙන් කොටසක් ජනතාව සහ රජය මත පැටවීම කිසිසේත්ම පිළිගත නොහැකි බවද ප්‍රකාශ කළේය.
සිංහල - දෙමළ අලුත් අවුරුද්ද ආසන්නව තිබෙන බැවින් ජනතාව ජීවනෝපාය සම්බන්ධයෙන් සටන් කරන අතර, ඒ හේතුවෙන් වීදිවලට බැස විරෝධතා නොදක්වන බව රජය අවබෝධ කරගත යුතු බව ඔහු අනතුරු ඇඟවීය. අලුත් අවුරුද්දෙන් පසුව නැවතත් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත්, රජය කෙරෙහි ජනතාවට ඇති ඉතිරි විශ්වාසයද අහිමි වන බවද ඔහු කියා සිටියේය.
ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල මේ පාලන කාලය තුළ දක්නට ලැබෙන බවත්, පසුගිය සැප්තැම්බර් මාසයේ රුපියල් 352ක් වූ සුපිරි ඩීසල් මිල මේ වනවිට රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ජනතාව මත රුපියල් 248ක අමතර බරක් පටවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදී, යුද්ධය හේතුවක් කරගෙන රජය ජනතාව රවටන බවත්, පරිපාලන අසාර්ථකත්වයන් සඟවා ගැනීමට යුද්ධය භාවිතා කරන බවත් ඔහු චෝදනා කළේය.
තේ මිල පහත වැටීම හේතුවෙන් දැනටමත් ලක්ෂ 4.97කට ආසන්න කුඩා තේ වතු හිමියන් දැඩි පාඩුවකට මුහුණ දී ඇති බවද ඔහු සඳහන් කළ අතර, රජය ලබාදෙන පොහොර සහනාධාරය ප්‍රමාණවත් නොවන බවද කියා සිටියේය.
රජයේ ක්‍රියාකාරකම් බිහිරි කන්වලට සීනුවක් වැනි බවත්, ජනතාව ඉක්මනින්ම මෙම රජයට සුදුසු පිළිතුර ලබාදෙනු ඇති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.