මුඛ පිළිකා රෝගීන් 9 ගුණයකින් ඉහළ ගිහින් (VIDEO)

symptoms tobacco oral cancer udaya usgodaarachchi arecanut
By Sewvandhi Jul 27, 2021 03:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා පිළිබඳ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එය සිහි කැඳවන්නේ සුවැති මුවකට පුවක් නවතමු යන්න තේමා කර ගනිමින්. මේ අතර, මුඛ පිළිකා වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර 2 වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ජාතික පිළිකා මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කලේ වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන බවයි. ඉන් 2,700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්.

මුඛ පිළිකා, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන් අතර බහුලව වාර්තා වන අතර පුවක්, දුම්කොළ සහ දුම්වැටි භාවිතය ඊට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අවුරුදු 40ට වැඩි පුද්ගලයන් මුඛ පිළිකා වලට බහුලව ගොදුරු වන පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, පුවක් භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා රෝගී තත්වය මුඛ පිළිකා දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බව දන්ත වෛද්‍ය විශේෂඥ උදය උස්ගොඩආරච්චි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ගතවූ දශක තුනක කාලය තුළ මෙම රෝගී තත්ත්වය හට ගැනීම නව ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මෙරට පසුගිය වසර 20 තුළ මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් පමණ ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි. පුවක් භාවිතය මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති බවද එම ඒකකය සඳහන් කළේය.

පිරිමි පුද්ගලයින් අතර මුඛ පිළිකා බහුල වන බවත් කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට මෙම මුඛ පිළිකා රෝග තත්ත්වය අයත් බවද එම ඒකකය පෙන්වා දෙයි.

2019 වසරේ දී නව මුඛ පිළිකා රෝගීන් 2,700ක් පමණ වාර්තා වී ඇති බව පෙන්වාදෙන ජාතික පිළිකා මර්දන ඒකකය දෛනිකව මුඛ පිළිකා ආශ්‍රිත මරණ දෙකක් හෝ තුනක් සිදුවන බවද සදහන් කළේය.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ පසුවන අතර අවසන් අවදියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසු ජීවත්වීමේ හැකියාව ද අඩුවන බව එම ඒකකය සඳහන් කරයි.

මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන්, ප්‍රතිකාර කිරීම මගින් රෝගය උත්සන්නවීම වළක්වා ගත හැකි බවද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

පහත 3D වීඩියෝවෙන් මුඛ පිලිකා සෑදීම හා රෝග ලක්ෂණ පිළිබඳ මනා අවබෝධයක් ඔබට ලබාගත හැක-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now