ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න
රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළේ මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වී ඇති බවය. ඇය පෙන්වා දෙන්නේ නිවෙස්ගත රෝගී සත්කාර සේවාවටත් ඉදිරියේදී ඔමික්‍රෝන් රෝගීන් ඇතුළත් වියහැකි බවය. "පසුගිය සති 2ක ඇතුළත පැහැදිලිව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීමක් පෙන්නුම් කළා.
මේ වෙනකොට ඔමික්‍රෝන් රෝගීන් 48ක් හඳුනාගෙන තිබෙනවා. ඒ රෝගීන් ප්‍රධාන වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. අනුරාධපුරය දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වෙලා තියෙනවා. ඔමික්‍රෝන් අවධානම අපි තේරුම් ගත යුතුයි. සෞඛ්‍ය නිර්දේශ නිසි ලෙස පිළිපදින්න. මේ රෝගයට රටම ගිලගන්න තත්ත්වයකට ඉඩ තියන්න එපා." විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගීන් සඳහා වු නිවෙස්ගත ප්‍රථිකාර සේවයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි ලෙස කටයුතු කරයි. ඇය පෙන්වා දෙන්නේ නිවෙස්ගත ප්‍රථිකාර ක්‍රමය සඳහා 2021 ජුනි 07 සිට දෙසැම්බර් 31 දක්වා රෝගීන් 130,072ක් ලියාපදිංචි වී තිබූ බවය.
ප්රථිකාරවලින් පසු මුදාහැරි රෝගීන් ප්‍රමාණය 125,168කි. රෝහල්ගත කළ රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 2,148ක් බවත් එය 1.5% ප්‍රතිශතයක් බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. ඒ අනුව දෙසැම්බර් 31ක වනවිට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,096ක් පමණි. මේ අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද කොවිඩ් -19 ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් සියලුදෙනාම සෑම ස්ථානයකදීම සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළයුතු බවද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ නිවෙස්ගත ආසාදිතයින් වාර්තාවීම පහළ යාමට හේතු වී ඇත්තේ ඔවුන් පද්ධතියට වාර්තා නොකිරීම විය හැකි බවය.
"පසුගිය සති 2ක ඇතුළත නිවෙස්ගත රෝගී සත්කාර සේවාව යටතේ සැබෑම ලෙස රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරනු ලබනවා. ඒ ගැන අපිට ඇත්තටම පැහැදිලි සැකයක් මතු වෙනවා. මොකද උත්සව සමයට සූදානම්වීම සඳහා අවශ්‍ය සාප්පු සවාරි සහ වෙනත් අවශ්‍යතා සඳහා ඔවුන්ට යොමුවෙන්න වෙලා තිබුණ නිසා.
මේ රෝගී තත්ත්වය තිබුණත් එය අතපසු කරලා පද්ධතියට ඇතුළත් නොවී සිටියද කියලා අපිට සැකයි. බොහෝ දෙනෙක් මේ වනවිට බූස්ටර් එන්නතත් අරගෙන තිබෙනවා. එතනදී ඇත්තටම මේ කොවිඩ් රෝගය වැලඳුනාම ඔවුන්ට එන රෝග ලක්ෂණ, අවම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. මෙමගින් ඇති වෙලා තියෙන ප්‍රතිෂක්තිකරණයේ ඇති සක්‍රිය බව නිසා. ඒ නිසා ඇත්තටම ඔබ මේ රෝගී වාහකයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. එක නිසා ඔබ, ඔබේ කාර්යාලයේ, විශ්වවිද්‍යාලය තුළ පාසල තුළ ක්‍රියා කරද්දි දැඩිව අවධානය යොමු කරන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |