බියකරු ඔමික්‍රොන් ලොව පුරා රටවල් රැසක් බිළිගනී...ලංකාවටත් රතු එළියක්.

Australia Sri Lanka South African Omicron Covid
By Aruna Nov 29, 2021 03:49 AM GMT
Aruna

Aruna

Report

ලොව තවත් රටවල් කිහිපයකින් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනාගැනීමත් සමග එම ප්‍රභේදය ව්‍යාප්තවූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළගොස් තිබේ.

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනෙක් කැනඩාවේ, ඔටාවා අගනුවරින් හඳුනාගෙන තිබේ. ඔවුන් දෙදෙනාම කැනඩාවට පැමිණ තිබුණේ නයිජීරියාවේ සිට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයෙක් ඉතාලියෙන්ද හඳුනාගත් අතර ඔහු මොසැම්බික් සිට ඉතාලිය වෙත පැමිණ තිබූ අයෙකි.

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගත් නවතම යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්වුණි.

ඒ, එරටින් නව ප්‍රභේදය ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගය. එම ආසාදිතයන් දෙදෙනාම දකුණු අප්‍රිකාවේ සිට ඩෙන්මාර්කයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

තුන්වැනි ඔමික්‍රොන් ආසාදිතයාද හඳුනාගත් බව ජර්මනිය නිවේදනය කර තිබේ.

ඇය දකුණු අප්‍රිකාවේ සිට හෙසේ කලාපයට පැමිණ තිබූ අතර මින් පෙර හමුවූ ආසාදිතයන් හඳුනාගෙන තිබුණේ මියුනිච් නගරයෙන් සහ බවේරියා කලාපයෙනි.

තුන්වැනියට හඳුනාගත් කාන්තාව කොවිඩ් මර්දන එන්නත සම්පූර්ණයෙන් ලබාගෙන සිටි අයෙකු වන අතර ඉකුත් 21 වැනි දා ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ ඔස්සේ පැමිණ තිබුණි.

මේ අතර එක්සත් රාජධානියෙන්ද තවත් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයෙකු හඳුනාගෙන තිබුණේ එම ප්‍රභේදය ආසාදිත සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ දමමින්.

ඔහුද දකුණු අප්‍රිකාවේ සංචාරය කර පැමිණි අයෙකු බවට වාර්තා වුණි.

ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් අටකින් සංචාරකයන් රටට ඇතුළත් කරගැනීම තහනම් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් සූදානම් වෙයි.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, සිම්බාබ්වේ, ලෙසෝතෝ, මොසැම්බික්, එස්වාටිනි සහ නයිජීරියාව එම රටවල්ය.

එම රටවල් අටේ සිට මේ වන විට ඉන්දුනීසියාව වෙත පැමිණ සිටින අය දින 14ක් නිරෝධායනය විය යුතු බව බලධාරීන් පවසයි.

නව වෛරස ප්‍රභේදය පැතිරී ඇති රටවල් වෙත අමෙරිකාව පැනවූ සංචාරක තහනම අද සිට ක්‍රියාත්මකය.

මීට අදාළ නිල ලේඛනයට ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් සිකුරාදා අත්සන් තැබුවේය. එරට ඉහළම වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆෝචි පැවසුවේ නව ප්‍රභේදය සමග සටන්වැදීම සඳහා අමෙරිකානු ජනතාව සූදානමින් සිටිය යුතු බවය.

කෙසේ නමුත් එය පාලනයට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන්ම පැවසිය නොහැකි බවද ඔහු සඳහන් කළේය. පවතින අවදානම්සහගත තත්ත්වය සලකා ලොව සියලුම රටවලින් ගුවන් යානා සිය රට වෙත පැමිණීම තහනම් කිරීමට උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝව පියවර ගෙන තිබේ.

ඒ සති දෙකක කාලයක් සඳහාය. සියලුම ජාත්‍යන්තර ගුවන් මගීන් ගෙවුණු දින 14ක කාලය තුළදී සංචාරය කළ ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතු බවටත් කොවිඩ් ආසාදිත නොවන බවට පරීක්ෂණ ප්‍රතිඵලයක් මගින් තහවුරු කළ යුතු බවටත් ඉන්දියාව නිවේදනය කළේය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා පවසන්නේ නව වෛරස ප්‍රභේදය මුල්කරගෙන සිය රටට එරෙහිව සංචාරක තහනම් පැනවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකීරීමට පත්වී සිටින බවය.

එය අසාධාරණ ක්‍රියාවක් බැවින් වහාම සංචාරක සීමා ඉවත් කරගත යුතු බවද ඔහු සඳහන් කළේය. මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව නව එන්නතක් අවශ්‍යනම් 2022 මුල් භාගය වන විට එය නිපදවිය හැකි බවයි මොඩර්නා සමාගම පවසයි.

නව ප්‍රභේදයට එරෙහිව දැනට ලබාදෙන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව ගැන තහවුරු කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවද එම සමාගම නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now