සෞදියේ ලොකුම තෙල් පිරිපහදුවට හූති මිසයිල ප්රහාරයක් - මැදපෙරදිග යුද ගිනි මැද ලෝක තෙල් මිල මාස 6ක ඉහළම මට්ටමට
මැදපෙරදිග කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මාස හයක ඉහළම මට්ටම් ආසන්නයේ පවතී.
කෙසේ වෙතත්, ඉරානය සම්බන්ධ ගැටුම් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමේ අවිනිශ්චිතතාව මධ්යයේ අඟහරුවාදා දිනයේදී බොරතෙල් අනාගත ගිවිසුම් මිල බැරලයකට ඩොලර් දෙකකට ආසන්න ප්රමාණයකින් පහත වැටුණි.
ඒ අනුව, බ්රෙන්ට් (Brent) බොරතෙල් අනාගත ගිවිසුම් මිල ඩොලර් 1.93කින් හෙවත් සියයට 1.67කින් පහත වැටී බැරලයකට ඩොලර් 113.88ක් ලෙස සටහන් විය. එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ද ඩොලර් 1.86කින් හෙවත් සියයට 1.83කින් පහත වැටී බැරලයකට ඩොලර් 99.90ක් දක්වා අඩු විය.
ඉරානයේ රාජ්ය තාන්ත්රික සාකච්ඡා සහ යුද අවදානම ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ප්රධානී මොහ්සෙන් රෙසායි, සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය යන රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු දින අඟහරුවාදා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමේනි හමුවිය.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න
ඉරානයේ ජාතික අවශ්යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කමත්, ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසිවලින් බැහැර නොවීමේ අවශ්යතාවත් කමේනි එහිදී අවධාරණය කළ බව ඉරාන රාජ්ය මාධ්ය වාර්තා කළේය.
සාමය සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට එම රටවල් හතර එකඟ වී තිබේ.
කෙසේ වෙතත්, යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් සෞදි අරාබියට එරෙහිව යළිත් ප්රහාර එල්ල කිරීමත් සමඟ කලාපයේ සාමය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවිනිශ්චිත වී ඇත. සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන රාස් ටනුරා (Ras Tanura) වෙත බැලස්ටික් මිසයිල ප්රහාරයක් එල්ල කළ බව හූති කැරලිකරුවන් අඟහරුවාදා ප්රකාශ කළහ.
රාජ්ය තාන්ත්රික සාකච්ඡා පිළිබඳ වාර්තා හේතුවෙන් මෑතකදී තෙල් මිලට එක්ව තිබූ අමතර අවදානම් වාරිකය යම්තාක් දුරට අඩු විය හැකි බව ගෙල්බර් ඇන්ඩ් ඇසෝසියේට්ස් (Gelber & Associates) ආයතනයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එහෙත් සෞදි අරාබියට එරෙහි හූති ප්රහාර අඛණ්ඩව පැවතීම සහ පර්සියානු ගල්ෆ් කලාපයේ හමුදා පැවැත්ම පුළුල් වීම හේතුවෙන් තෙල් සැපයුම සම්බන්ධ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බව ඔවුහු සිය වාර්තාවක සඳහන් කළහ.
හෝර්මුස් සමුද්ර සන්ධිය පිළිබඳ අවධානය හෝර්මුස් සමුද්ර සන්ධිය සහ ඒ ආශ්රිත මුහුදු මාර්ගවල වාණිජ නෞකාවලට එල්ල වන තර්ජන හේතුවෙන් ඉදිරි මාසවලදී ද තෙල් මිල ඉහළ මට්ටමක පැවතිය හැකි බවට වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
ලොව පුරා සමුද්රීය ආරක්ෂක සිදුවීම් පිළිබඳ දත්ත නිරීක්ෂණය කරන වොෂින්ටන් ඉන්ස්ටිටියුට් ෆෝ නියර් ඊස්ට් පොලිසි (Washington Institute for Near East Policy) ආයතනයේ දත්ත සැලකිල්ලට ගනිමින් UBS ආයතනය සඳහන් කළේ, වසර අවසන් වන විට බ්රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 110ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එය මීට පෙර පුරෝකථනය කර තිබූ ඩොලර් 100ක මට්ටමට වඩා ඉහළ අගයකි. SEB ආයතනයේ විශ්ලේෂක බර්න් ෂීල්ඩ්රොප් පෙන්වා දුන්නේ, ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදය සහ ඊශ්රායලය ඉරානයට ප්රහාර එල්ල කිරීමේ අවදානම වෙනුවෙන් බොරතෙල් මිල තුළ සැලකිය යුතු අමතර වටිනාකමක් දැනටමත් ඇතුළත් වී ඇති බවයි.
මේ අතර, අඟහරුවාදා පැවැත්වෙන ඊශ්රායල පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵලය පිළිබඳව ද ආයෝජකයෝ අවධානය යොමු කර සිටියහ. මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන අනාගතය තීරණය විය හැකි වුවද, මත විමසුම් අනුව තරගය තියුණු මට්ටමක පැවති අතර ඔහුගේ ලිකුඩ් පක්ෂයට තවදුරටත් ජයග්රහණය කිරීමේ අවස්ථාවක් පැවතිණි.
කොමර්ස්බෑන්ක් (Commerzbank) ආයතනයේ විශ්ලේෂකයන් සඳහන් කළේ, ඊශ්රායල මැතිවරණ ප්රතිඵලය ඉරානය සමඟ පවතින යුද්ධයේ ඉදිරි වර්ධනයන්ට ද බලපෑ හැකි බවයි. නෙතන්යාහු යළි බලයට පත්වුවහොත් ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීමේ උත්සාහයන්ට යොමු විය හැකි බව ද ඔවුහු පෙන්වා දුන්හ.
රුසියානු තෙල් අපනයනයේ වෙනස්කම් මේ අතර, රුසියාවේ බෝල්ටික් සහ කළු මුහුද ආශ්රිත වරායන්ගෙන් සිදු කෙරෙන බොරතෙල් අපනයනය ලබන මාසයේදී පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වොෂින්ටනය සහ මොස්කව් අතර මේ මාසයේ ඇති කරගත් ගිවිසුමක අවශ්යතා සපුරාලීම සඳහා නඩත්තු කටයුතු අවසන් වූ පසු රුසියානු පිරිපහදුකරුවන් නිෂ්පාදනය වැඩි කිරීමටත්, ඩීසල් නිෂ්පාදනය ඉහළ නැංවීමටත් සැලසුම් කර ඇති බව වෙළෙඳුන් දෙදෙනෙක් පැවසූහ.
එමෙන්ම, යුක්රේනයේ කර්මාන්තශාලා වෙත එල්ල වූ අඛණ්ඩ ඩ්රෝන ප්රහාර නතර වීමෙන් පසු ඔක්තෝබර් දෙවන භාගයේදී රුසියානු තෙල් පිරිපහදු සමාගම්වල බොරතෙල් සැකසුම් ප්රමාණය මාසයේ ආරම්භයට සාපේක්ෂව සියයට 25කින් ඉහළ ගොස් ඇති බව කර්මාන්ත ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පැවසූහ.
මැදපෙරදිග ගැටුම්, නාවික මාර්ගවල ආරක්ෂාව සහ රුසියානු තෙල් සැපයුමේ වෙනස්කම් හමුවේ, ඉදිරි කාලයේදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තීරණය වීම කෙරෙහි සැපයුම් අවදානම් සහ භූදේශපාලනික තත්ත්වයන් ප්රධාන වශයෙන් බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.