''සුළඟ පැයට කි.මී. 140 දක්වා වේගවත් වෙයි'' - ඉන්දියාවට සුළි කුණාටුවේ දැඩි බලපෑම්
ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් සහ ඔඩිෂා ප්රාන්තවලට දැඩි වැසි ඇදහැළෙමින් පවතින අතර, අර්නාබ් (Arnab) සුළි කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 140ක් දක්වා වේගයෙන් සුළං හමා යා හැකි බව ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ වර්ගීකරණයට අනුව, අර්නාබ් සුළි කුණාටුව ‘ඉතා ප්රබල’ සුළි කුණාටුවක් ලෙස හඳුන්වා ඇති අතර, එය එම වර්ගීකරණයේ ඉහළම කාණ්ඩ අතරින් තෙවැනි කාණ්ඩයට අයත් වේ.
බදාදා (28) අලුයම ආන්ද්රා ප්රදේශ් වෙරළ තීරය ආසන්නයෙන් ගොඩබිමට ඇතුළු වීම ආරම්භ කළ සුළි කුණාටුවේ බලපෑම ඉදිරි පැය කිහිපය තුළත් පැවතිය හැකි බව කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත.
නෙතන්යාහු පැරදිලා.. ඊශ්රායලයම උණුසුම් - ප්රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි
පුද්ගලයින් 180,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ආන්ද්රා ප්රදේශ් සහ ඔඩිෂා ප්රාන්තවල පුද්ගලයින් 180,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.
ඔක්තෝබර් 27 වැනිදා පෙරවරු 8.30 සිට ඔක්තෝබර් 28 වැනිදා අලුයම 5.30 දක්වා කාලය තුළ ආන්ද්රා ප්රදේශ්හි විශාකාපට්නම් ප්රදේශයට මිලිමීටර් 216ක වර්ෂාපතනයක් ලැබී ඇත.
එම කාලය තුළ කලින්ගපට්නම් ප්රදේශයට මිලිමීටර් 147ක්, කාකිනාඩා ප්රදේශයට මිලිමීටර් 118ක් සහ මචිලිපට්නම් ප්රදේශයට මිලිමීටර් 115ක් වර්ෂාපතනය ලැබී ඇති බව වාර්තා වේ.
ඔඩිෂා ප්රාන්තයේ ගන්ජාම් සහ බාලසෝර් ඇතුළු දිස්ත්රික්ක කිහිපයකට ද දැඩි වැසි ඇදහැළී තිබේ.
ගුවන් ගමන් සහ දුම්රිය සේවාවලටත් බාධා
සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වන විට ප්රාන්ත දෙකෙහිම විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර, ගස් කඩා වැටීම් ද වාර්තා වී තිබේ.
ඇතැම් පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමන්වාර කිහිපයක් ද අවලංගු කර ඇත.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බදාදා දිනයේ විශාකාපට්නම් සහ විජයවාඩා වෙත සිදුකිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර තිබේ.
කෙසේ වෙතත්, මේ දක්වා ප්රාන්ත දෙකෙන්ම ජීවිත හානි වාර්තා වී නොමැති බව සඳහන් වේ. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බදාදා සහ බ්රහස්පතින්දා යන දිනවලත් දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව බලධාරීන් පවසා ඇත.
පහත් බිම්වලට ගංවතුර අවදානමක්
සුළඟේ සාමාන්ය වේගය පැයට කිලෝමීටර් 115ත් 125ත් අතර පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථාවල එය පැයට කිලෝමීටර් 140ක් දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළ කර තිබේ.
එමෙන්ම සාමාන්ය වඩදිය මට්ටමට වඩා මීටර් 1ත් 1.5ත් අතර උසකින් මුහුදු ජලය ඉහළ යා හැකි බැවින් ආන්ද්රා ප්රදේශ්හි පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.