සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..උසස් පෙළ ප්‍රතිඵල ගැනත් ආරංචියක්..

Ministry of Education G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Education
By Aruna Apr 25, 2024 01:56 AM GMT
Aruna

Aruna

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව,එහි ප්‍රකාශකයෙකු ප්‍රධාන පුවත්පත් වෙබ් අඩවියකට පවසා ඇත්තේ, එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බවයි.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ, පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලැබුව ද මාස 4ක් ඉක්මවා ගොස් ඇතත් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා අසමත් වී ඇති බවයි.

ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ, සිසුන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නැවත සමීක්ෂණ සදහා අයදුම්පත් යොමුකර ඇති අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම් හේතුවෙන් එම සිසුන්ගේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බවයි.