ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'වැල්ලේ සාරංග' ඩුබායිහිදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් 'වැල්ලේ සාරංග' නැමැත්තා ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් 'බස් ලලිත්' අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු මෑතකදී ඩුබායි රාජ්‍යය වෙත ගොස් තිබුණි.
එම මෙහෙයුම් අතරතුරදී 'වැල්ලේ සාරංග' නැමැති අපරාධකරු පිළිබඳව ද මෙරට විමර්ශන කණ්ඩායම වෙත තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අනුව රැස්කරගත් සියලු රහස්‍ය තොරතුරු ඩුබායි ආරක්ෂක අංශ වෙත ලබාදීමට පියවර ගෙන ඇත. අදාළ තොරතුරු මත ඩුබායි ආරක්ෂක අංශ දියත් කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු ඔහුගේ නිවසේ සිටියදීම අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහු සමඟ සිටි තවත් පුද්ගලයින් පිරිසක් ද ඩුබායි පොලීසිය භාරයට ගෙන ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගංජා ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 'වැල්ලේ සාරංග' නැමැත්තාට එරෙහිව මෙරට සිදුවූ බරපතල ගණයේ අපරාධ රැසක චෝදනා එල්ල වී තිබේ.
2017 මැයි 30 වනදා මෝදර රොක්හවුස් පටුමගේදී තියුණු ආයුධයක් සන්තකයේ තබාගැනීම හේතුවෙන් වෙරළබඩ පොලීසිය මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. එම වසරේම ජූලි 04 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වී නිවාස 6කට සහ ත්‍රිරෝද රථ 6කට හානි සිදුකිරීමේ චෝදනාවට ද මොහු මුහුණ දුන්නේය.
2018 පෙබරවාරි 15 වනදා මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍යවලට විරෝධය පෑ කාන්තාවකට වෙඩිතබා ඝාතනය කිරීම සහ එදිනම මට්ටක්කුලිය ප්‍රදේශයේදී 15 හැවිරිදි පිරිමි දරුවෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා ගොනු වී ඇත.
2020 වසරේදී නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට යාමේදී ආරක්ෂක අංශ භාරයට පත්වූ මොහු, පසුව 2022 අප්‍රේල් 20 වනදා රුසියාවේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමඟ බ්ලූමැන්ඩල් පොලීසිය මඟින් ද අත්අඩංගුවට ගෙන තිබුණි.
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වීමෙන් අනතුරුව සැකකරු ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ මෙතෙක් මෙරටට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව ද වාර්තා වේ.