ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කලයුත්තේ මෙහෙමයි - පොලිසියෙන් නව නීතියක්
මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධික ශබ්ද නිකුත් කිරීම හේතුවෙන් හටගන්නා ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් ළමුන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා බරපතල සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වීම හමුවේ පොලීසිය විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 නියෝගයට අනුව මහජනතාවට පීඩාවක් වන පරිදි ශබ්ද උපකරණ භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ 'මහජන පීඩාවක්' ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය අවධාරණය කරයි.
සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර නොලැබෙන නමුත්, විශේෂ හෝ ආගමික අවස්ථාවලදී සලකා බලා නීත්‍යානුකූල අවසර පත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි.
පොලිස් අවසර පත්‍රයක් ලබාගෙන ඇති අවස්ථාවලදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි කාලසීමාවන් පහත පරිදි වේ: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වා සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01.00 දක්වා ඉරිදා දිනවල අලුයම 12.30 දක්වා මෙම කාලසීමාවන් බලපත්‍ර හිමියන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර, අවසර ලබා තිබුණද නිකුත් වන ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා වන සේ පවත්වාගෙන යාම අනිවාර්ය වේ.
අවසරලත් අවස්ථාවලදී කොන්දේසි නිසි ලෙස ඉටු කරන්නේදැයි පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් යොදවන අතර, මහජන පැමිණිල්ලක් මඟින් ශබ්දය පීඩාවක් බව තහවුරු වුවහොත් එම ශබ්ද විකාශනය වහාම නතර කිරීමට පියවර ගැනේ.
පොලිස් දැනුම්දීම නොතකා අධික ශබ්දයෙන් කටයුතු කරන්නේ නම්, අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගෙන තදින්ම නීතිය ක්‍රියාත්මක කරනු ඇත. එබැවින් නීතිවිරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ලෙස සිදුකරන අධික ශබ්ද නිකුත් කිරීම් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 118, 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.