තනි භාවිත ප්ලාස්ටික් බෝතල්වලට තිත තියන්න පරිසර අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්

Report

ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය අඩු කර, ඒ වෙනුවට නැවත භාවිත කළ හැකි විකල්ප වෙත යොමුවන ලෙස පරිසර අමාත්‍යාංශය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.

තාවකාලික පහසුව සඳහා භාවිත කරන තනි ප්ලාස්ටික් බෝතලයක් පරිසරයට මුදාහැරීමෙන් පසු වසර සිය ගණනක් පරිසරයේ පැවතිය හැකි බැවින්, එමඟින් දිගුකාලීන පාරිසරික හානි සිදුවිය හැකි බව අමාත්‍යාංශය මහජනතාව වෙත නිකුත් කළ පණිවිඩයක සඳහන් කර තිබේ.

එබැවින් වීදුරු බෝතල් ඇතුළු පරිසර හිතකාමී සහ නැවත භාවිත කළ හැකි ජල බෝතල් රැගෙන යාමට ජනතාව දිරිමත් කරමින් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දෛනික ජීවන රටාවේ සිදුකරන කුඩා වෙනස්කම් පවා පරිසරය වෙනුවෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.

මේ අතර, රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් හඳුන්වා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නිකුත් කළ විශේෂ චක්‍රලේඛයක් 2026 මැයි 31 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අවම කිරීමට උපදෙස් ලබාදී තිබේ.

2025 ලෝක පරිසර දිනයේදී ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව රාජ්‍ය ආයතන පුරා ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද අමාත්‍යාංශය පවසයි.

සංශෝධිත පාරිසරික නීති යටතේ කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සහයෝගයෙන් රට පුරා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ද කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, ප්ලාස්ටික් දූෂණය පාලනය කිරීම සඳහා නීති සහ රෙගුලාසි පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරන අමාත්‍යාංශය, ඒ සඳහා ජනතාවගේ දෛනික පුරුදු වෙනස් කිරීමද අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි.

“සැබෑ වෙනසක් ආරම්භ වන්නේ අපගේ දෛනික පුරුදු වෙනස් කිරීමෙනි” යනුවෙන් සඳහන් කරමින්, නිවසින් පිටවන සෑම අවස්ථාවකම තමන්ගේම නැවත භාවිත කළ හැකි ජල බෝතලයක් රැගෙන යන ලෙසද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අනාගත පරම්පරාවන් වෙනුවෙන් පිරිසිදු සහ හරිත පරිසරයක් සුරක්ෂිත කිරීම සඳහා තනි භාවිත ප්ලාස්ටික් මත පවතින යැපීම අවම කිරීම අත්‍යවශ්‍ය බවද පරිසර අමාත්‍යාංශය අවධාරණය කරයි.