වසර 8ක් රේගු භාරයේ තිබූ වාහන 427ක් දිරාපත් වෙලා - රජයට ආදායමත් අහිමි වෙයි

Report

ශ්‍රී ලංකා රේගුව විසින් වසර අටක පමණ කාලයක් සිය භාරයේ රඳවාගෙන තිබූ වාහන 427කින් බහුතරයක් මේ වනවිට දිරාපත්ව ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

2025 වසරට අදාළ රේගු වාර්ෂික කාර්යසාධන වාර්තාවේ මේ බව සඳහන් වන අතර, මට්ටක්කුලිය සහ රුහුණුපුර වරාය භූමියේ රඳවා තිබූ වාහන රැසක් මෙලෙස විනාශ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව, මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකින් ලබාගත් ඉඩමක රේගු භාරයට ගත් වාහන 329ක් සහ රුහුණුපුර වරාය භූමියේ තවත් වාහන 108ක් රඳවා තිබී ඇත. දිගු කාලයක් අංගනවල ගාල් කර තැබීම හේතුවෙන් එම වාහනවලින් බහුතරයක් මේ වනවිට දිරාපත්ව ඇති අතර, ධාවනය කිරීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි.

සංචාරක ක්ෂේත්‍රයට සුබ ලකුණක් - ජපානයෙන් සංචාරකයින් 200ක් එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට

සංචාරක ක්ෂේත්‍රයට සුබ ලකුණක් - ජපානයෙන් සංචාරකයින් 200ක් එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට

මේ හේතුවෙන් එම වාහන වෙන්දේසි කිරීමෙන් පවා රජයට සාධාරණ ආදායමක් උපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තාව පෙන්වා දෙයි. රේගුව විසින් රේගු ආඥා පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

වාහන 5කින් රුපියල් කෝටි 2.67ක බදු අහිමිවීමක් මේ අතර, ආනයනය කළ වාහන පහකට අදාළව අපනයන රේගු සටහන්කරයේ සඳහන් CIF වටිනාකමට වඩා අඩු වටිනාකම් සහිත ඉන්වොයිස් ඉදිරිපත් කර ඇති බවද විගණනයේදී අනාවරණය වී තිබේ.

එමගින් වාහන පහේ සමස්ත වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 97,510කින් අඩුවෙන් ප්‍රකාශ කර, ඒවා රේගුවෙන් නිෂ්කාශනය කරගෙන ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

අදාළ වාහන පහේ අපනයන රේගු සටහන්කරයේ සඳහන් CIF වටිනාකම සැලකිල්ලට ගත් විට, ආසන්න වශයෙන් රුපියල් 16,200,813ක වටිනාකමක් බදු පදනමට ඇතුළත් නොවීම හේතුවෙන් රජයට රුපියල් 26,701,747ක බදු ආදායමක් අහිමි වී ඇති බව විගණන වාර්තාව අනාවරණය කර තිබේ.

තවත් වාහන 29කින් රුපියල් කෝටි 8.87ක බදු අහිමිවීමක් තවද, මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන වාහන වර්ග හතරකට අදාළව ජපානයේ පැවති වෙන්දේසිවල මිල ගණන් පරීක්ෂා කර තිබේ.

එහිදී 2025 වසරේදී මෙරටට ආනයනය කළ වාහන නියැදි කිහිපයකට ආසන්න කාලයකදී ජපානයේ වෙන්දේසි වූ එම වාහනවල මිල ගණන් සැසඳීමේදී, ඇතැම් ආනයනකරුවන් එම වාහන අඩු වටිනාකම් යටතේ රේගුවෙන් නිෂ්කාශනය කරගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව නියැදි පරීක්ෂාවට ලක් කළ එවැනි වාහන 29ක් නිෂ්කාශනය කිරීමේදී රජයට ආසන්න වශයෙන් රුපියල් 88,758,285ක බදු ආදායමක් අහිමි වී ඇති බව විගණන වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්

22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්