අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිවේදනයක්

Sri Lanka Pakistan Sri Lanka Navy
By Sithumi Aug 14, 2022 10:55 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පකිස්ථාන නාවික හමුදාව අතර, යුද අභ්‍යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්‍ය ඔස්සේ පලවන පුවත් වාර්තාවන්ගේ සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

නිල සංචාරයක් සඳහා පසුගිය දා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව 2022 අගෝස්තු මස 15 වන දින එම නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ දී කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව සමඟ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයක ( Passage Exercise) පමණක් නිරත වීමට නියමිත බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

නාවික හමුදාව විසින් වැඩි දුරටත් කියා සිටින්නේ, විදේශීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය හා සුහදශීලීත්වය වර්ධනය කරගැනීම මෙන් ම ශ්‍රී ලංකා නාවික හමුදා සෙබලුන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් මෙරටට නිල සංචාරයන් සඳහා පැමිණෙන විදේශීය නාවික හමුදාවන්ට අයත් නෞකා දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ දී සුහද නාවික අභ්‍යාසයන් (Passage Exercise) එම නාවික හමුදාවන්ගේ ද එකඟතාවය මත පමණක් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් පවත්වනු ලබන බවයි. 

 ඒ අනුව, පවත්වනු ලබන මෙම සුහද නාවික අභ්‍යාසයේ දී ( Passage Exercise), පාකිස්ථාන නාවික නෞකා ‘TAIMUR’ නෞකාව හා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව අතර නෞකා හැසිරවීම් සහ සෙවීමේ හා මුදවාගැනීමේ අභ්‍යාස සිදුකිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

එමෙන්ම, ‍මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙවැනිම සුහද නාවික අභ්‍යාසයන් (Passage Exercise) ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය, ජපානය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ඔස්ට්‍රෙලියාව වැනි නාවික හමුදාවන් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකර තිබෙනවා.

තවද, කලාපීය මෙන් ම කලාපීය නො වන නාවික හමුදාවන් සමඟ සිදු කෙරෙන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් වැඩි දියුණුවන සහයෝගීත්වය තුළින් පොදු සමුද්‍රීය අභියෝග සමූහිකව ජයගැනීම මෙන් ම දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සියළු සාගරික මෙහෙයුම් සඳහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
join now