"අද මම මෙහි පැමිණියේ ඉතා බරවූ හදවතින්.. දිල්ලි ප්‍රහාරය පිටුපස සිටින කිසිවෙකුත් අත්හරින්නේ නැහැ" - භූතානයේ මෝදි සැර වෙයි
ඊයේ (10) සවස නවදිල්ලි රතු බලකොටුව අසල සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරවීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින සියලුදෙනා නීතිය හමුවට පැමිණවීමට තම රජය වගබලාගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (11) භූතානයේදී දැඩි ලෙස අවධාරණය කළේය.
භූතානයේ රාජකීය නිල සංචාරයක නිරත වෙමින් තිම්පුහිදී ජනතාව අමතමින් මෝදි මහතා පැවසුවේ;
“අද මම මෙහි පැමිණියේ ඉතා බරවූ හදවතින්. ඊයේ දිල්ලියේ සිදුවූ භයානක සිදුවීමෙන් අප සැම කම්පා වී සිටිනවා. මම ඊයේ රැය පුරාම විමර්ශන කණ්ඩායම් සමඟ සම්බන්ධව සිටියා. අපේ ආයතන මේ කුමන්ත්‍රණයේ ගැඹුරටම සොයා බලනවා. මේ පිටුපස සිටින මහමොළකරුවන් කිසිවෙකුත් අපි අත්හරින්නේ නැහැ. සියලුදෙනාම නීතිය හමුවට පමුණුවනවා.”
ඊයේ සවස 6:52ට පමණ රතු බලකොටු මෙට්‍රො දුම්රිය ස්ථානයේ ගේට්ටුව අසල ට්‍රැෆික් සිග්නල්හිදී Hyundai i20 මෝටර් රථයක් පුපුරා ගියේය. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව තහවුරු වී ඇති අතර, මියගිය සංඛ්‍යාව 10-13 අතර වාර්තා වෙමින් පවතී. තුවාලකරුවන් 20-25 අතරයි.
ප්‍රහාරකරණය කළේ ජම්මු-කාෂ්මීරයේ පුල්වාමා පදිංචි 37 හැවිරිදි වෛද්‍ය ආචාර්ය උමර් මොහොමඩ් (Dr. Umar Mohammad) බවට බලධාරීන්ගේ සැකයයි. ඔහුද මෙම පිපිරීමෙන් මියගොස් ඇත.
පැය කිහිපයකට පෙර හරියානාහි බෝම්බ් නිෂ්පාදන තොගයක් සමඟ වෛද්‍යවරුන් ඇතුළු ත්‍රස්ත මොඩියුලයක් බිඳහෙළීමෙන් පසු මෙම ප්‍රහාරය සිදුවීම නිසා දෙක අතර සම්බන්ධයක් ගැන විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශන NIA (ජාතික විමර්ශන ඒජන්සිය) වෙත පවරා ඇත.
මේ අතර, අද (11) දහවල් ඉස්ලාමාබාද් දිස්ත්‍රික් අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 27 දෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රහාරකරු අධිකරණයට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් අසාර්ථක වී පොලිස් වාහනය ඉලක්ක කළ බව පාකිස්තාන අමාත්‍යවරයා පැවසීය. පාකිස්තාන තලිබාන් (TTP) මෙයට වගකියයි යැයි සැකකෙරේ.
දිල්ලි සහ ඉස්ලාමාබාද් ප්‍රහාර දෙකම එකම දිනයකට ආසන්නව සිදුවීම දකුණු ආසියාවේ ආරක්ෂාව තවදුරටත් තීව්‍ර කර ඇති අතර, ඉන්දියාවේ ප්‍රධාන නගරවලත්, පාකිස්තානයේත් ආරක්ෂාව තරකර තිබේ.