"මම මේ වැඩ ඇරිලා යන ගමන්.." "වීල් එකක වත් යන්න අතේ සල්ලි නෑ.." මහ රෑ වාහනේට අත දාල වෙච්ච දේ මෙන්න.

Sri Lanka Story Article Maharagama
By Aruna Jan 23, 2022 12:18 AM GMT
Aruna

Aruna

Report

"ඉරේශ් මම ගිහින් එන්නම්.." "හරි කොල්ලෝ " "පරිස්සමට ගිහින් කෝල් එකක් දාපන්.." "බායි.." "ගුඩ් නයිට්.."

"එහෙනම් මම ගියා" ඉරේශ් ගේ ගෙදර පැවති පිංකමකට සහභාගී උන මම මොරටුවෙ ඉදන් රත්මලාන බොරලැස්ගමුව හරහා කොට්ටාවට එන්න පිටත් උනේ පාන්දර 2 ට විතර..

රත්මලාන අන්ධ විද්‍යාලය පහු කරනවත් එක්කම වගේ මැදි වයසෙ තරුනයෙක් පාර මැදටම ඇවිත් වාහනේ නවත්තන්න අත දැම්මා..

රටේ තත්වය වගේම රෑ ජාමෙ සිද්දවෙන දේවල් එක්ක වාහනේ නවත්තන්න නොහිතුනත් තරුනයා අත දාපු විදිහට ඔහු අසරණ වෙලා ඉන්න බවක් පෙනුන නිසා මම ඉස්සරහට ගිහින් වාහනේ නැවැත්තුවා.

"අනේ මල්ලි.." "මාව මහරගමින් දාන්න පුළුවන්ද.." "ඔයා යන්නෙ ඒ පැත්තටද.." "මම මේ වැඩ ඇරිලා යන ගමන්.." "වීල් එකක වත් යන්න අතේ සල්ලි නෑ.."

ඔහු කිව්ව දේවල් සහ ඔහුගේ ඇදුම් දිහා බලපු මට ඔහු කිවේ යම් දුරකට ඇත්ත බව වැටහුන මම ඉස්සරහ දොර ඔහුට නගින්න අන්ලොක් කරා..

"අනේ පින්, මල්ලි ඔයාට.." "මම මේ වෙල්ඩින් වැඩක් ඉවර වෙලා ගෙදර යන ගමන්.." "වයිෆ් තනියම ගෙදර.." "ඒකයි යන්නේ.." "එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.."

වාහනේ නවත්වලා මම කරේ හොද දෙයක් කියලා හිතුනේ ඔහුගේ කතාව අහද්දියි..

"මාත් කලින් වාහන තියන් හිටපු කොල්ලෙක් මල්ලි.." "මම බයෝ කරපු කෙනෙක්.." "කැම්පස් යන්න පවා ලකුණු තිබ්බා.."

"අපේ තාත්‍තට වෙල්ඩින් ශොප් එකක් තිබුනා.." "ඒ දවස් වල අගහිගකම් තිබුන් නෑ අපිට.." "වාහන තුනක් තිබුනා ගෙදර.."

මට හරස් ප්‍රශ්න අහන්න වත් වෙලාවක් නොදී කොල්ලා එයාගෙ කතාව කියනව..

මම පාර දිහා බලන් වාහනේ පදවන ගමන් ඔහුගෙ කතාව අහගෙන හිටියා.. "මගෙ අම්මා ලෙඩ උනා.."

"මොනව තිබ්බත් අම්ම කෙනෙක් ආයෙ ගන්න බෑ මල්ලි.." "සල්ලි නම් ආයෙ හොයන්න පුළුවන්.."

"ලක්ශ හතලිස් පහක් ගියා ඔපරේශන් එකටයි බේත් වලටයි.." "ඉතින් වාහන තුනම විකුනලා අම්මව සනීප කරා.."

මගෙ පපුව හෝස් ගාල ගියා.. ඒ අද කාලෙ දෙමාපියන්ගේ දේවල් වලින් රගලා එයාල අසරන උනාම මහළු නිවාස වලට ගිහින් දාන පුතාල දුවලා ඉන්න කාලයක මේ තරුණය හොද කෙනෙක් බව තේරුන නිසයි..

"ගෙදර අය දන්නෙ නෑ මම මෙහෙ ඇවිත් මේ වැඩ කරන බව.." "මොනවා කරත් කරන්නෙ යහපත් ‍රැකියාවක් නම් ඒකෙ කිසි අව්ලක් නෑ මල්ලි.."

"මම කොහොම හරි ආයෙ ගොඩ යනවා කොල්ලො.." "ඒකට තමා මේ මට පුළුවන් කාලෙ උපරිම වැඩ කරන්නෙ.."

කොල්ලගේ උත්සහයයි හිත හොද ගතියයි එක්ක ඌට ඒක කරන්න වැඩි කාලයක් යන එකක් නෑ කියලා මට හිතුනා..

මහරගම ටව්න් එකෙන් ඔහුව බස්සල මම කොට්ටව පැත්තට හැරෙව්වෙ ඔහුගෙ අවසන් වචන ටිකත් අහගෙනමයි..

"බැරි වෙලාවෙ උදව් කරපු කවුරුත් මම අමතක කරන් නෑ යාලු.." "යාළු ඔයාගෙ නම්බර් එක දීලා යන්න.."

"මේ පැත්තෙ ඇවිත් උදව්වක් ඕනි උනොත් කතා කරන්න මට." "ඕනිම කෙනෙක් ට ඕනි වෙලාවක ඕනිම තත්වයක කෙනෙක් ගෙ උදව් ඕනී වෙන්න පුළුවන්.."

"පරිස්සමට යන්න..මල්ලි.." ඔහුට සුභ පැතුව මම වාහනේ හරවලා යන ගමන් කල්පනා කලේ....

?ඕනිම කෙනෙක් ඕනි වෙලාවක ඉන්න තැනින් බිමටම වැටෙන්න පුළුවන්... එහෙම වැටිලා ඉද්දි තව තව කරදර එක පිටට ඇවිත් උපරිම අන්තයටම වැටෙන්නත් පුළුවන්..

?ඉගෙන ගෙන උපාධියක් ගත්තා කියලා ඒ අරගත්ත උපාධිය ජීවිතේට කිසි ප්‍රයෝජනයක් නැති වෙන්නත් පුළුවන් (ඉගෙනීම වැඩක් නෑ කියනවා නොවෙයි..)

?දෑතේ හැකියාවක් පුරුදු පුහුණු වීමෙන් ඕනිම වැටීමකදි ආයෙම නැගිටින්න ඒක හයියක් කර ගන්න පුළුවන්.

?අපි කරපු පින් පව් අනුව නොහිතපු වෙලාවක කරදර ලෙඩ දුක් එන්න පුළුවන්. ගස් ගල් වගේ ඉන්න අය එක විට ඔත්පල වෙන්න පුළුවන්.

?අපි අන්ත අසරන වෙලා උදව්වක් ඕනිම වෙලාවක උදව් කරන්නම හැකි අය අපි ගැන තැකීමක් නොකර යන්නත් පුළුවන්, ඉන්නත් පුළුවන්.

?මොන ප්‍රශ්න ආවත් කොයි තරම් දුක් වින්දත් සමහරුන්ට තම ආදරණීයයන් අමතක වෙන්නත්, නොවෙන්නත් පුළුවන්..

?මේ හැම දේම වෙද්දි හිත හයිය උවමණාව තියෙන ඔයා ආයෙ නැගිටින්නත් පුළුවන්..

අනේ මට ඇති ඉවසලා ඉවසලා ජීවිතේ ගැන කලකිරීමෙන් ප්‍රශ්න විසදන හොදම විදිහ කියලා ජීවිතෙන් සමු ගන්නත් පුළුවන්... හිතට ගන්න..

එක් පාරක් වැටුනොත් සිය පාරක් නැගිටිමු.. ඒකට ඕනි ඔයාගෙ හිතේ හයිය විතරයි..

වැටිලා වැටිලා නැගිටින්න බැරිව ඉන්න වෙලාව තමා නැගිටින්න ඕනිම වෙලාව..

නැගිටින්න හරිම වෙලාව.. ඉතින් බලන් ඉන්න එපා.. නැගිටිමු... එතකොට කර්මය වගේම සොබා උනත් පරාද වෙන්න පුළුවන්..

මූව කොයි තරම් වැට්ටුවත් මූ ආයෙම නැගිටිනවනේ කියලා.. ඔබට ජය..

උපුටා ගැනීමක්: හර්ශන රූපසිංහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now