ආයේ පාරේ යද්දි මේ කරදර නෑ - මාර්ග බාධා දැනගන්න අලුත් ක්‍රමයක්
රට පුරා පවතින මාර්ගවල තත්ත්වය පිළිබඳ තොරතුරු සෘජුවම බලධාරීන් වෙත දැනුම් දීමට ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් නව ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඩිජිටල් කාර්ය සාධක බලකාය එක්ව නිර්මාණය කර ඇති මෙම නව වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට මාර්ග අවහිරතා, මාර්ගවලට සිදුව ඇති හානි, හදිසි අනතුරු සහ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු වහාම වාර්තා කිරීමට අවස්ථාව උදා වන බව සඳහන්.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ රට තුළ බහුලව භාවිත වන මාර්ග උපදේශන මෘදුකාංග (Navigation Apps) ඔස්සේ මාර්ගවල සිදුවන ඇතැම් හදිසි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රමානුකූල සහ යාවත්කාලීන තොරතුරු (Real-time updates) ලබා දීමේදී සැලකිය යුතු අඩුපාඩුවක් ඇති බව නිරීක්ෂණය වී තිබෙන බැවින් එම හිඩැස පිරවීම මෙම නව වැඩපිළිවෙළේ මූලික අරමුණ බවයි.
ඒ අනුව, https://road-lk.org වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පුරවැසියන්ට මෙම සේවාව ලබා ගත හැකි බව පවසයි. ඒ ඔස්සේ වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම මාර්ග තොරතුරු ජාලයක් ගොඩනැගීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම රඳා පවතින්නේ මාර්ග භාවිතා කරන්නන් විසින් ලබා දෙනු ලබන තොරතුරු මත වන අතර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් පැමිණිලි ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා දී ඇත.
ඒ අනුව https://road-lk.org/report ඔස්සේ අදාළ ස්ථානයේ ඡායාරූප ද සහිතව මෙම වාර්තා ඉදිරිපත් කළ හැකි නම් එය වඩාත් ඵලදායී වනු ඇති බව සඳහන්.
එසේ මහජනතාව විසින් යොමු කරනු ලබන තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මඟින් තහවුරු කර ගැනීමෙන් පසුව එම ස්ථාන ජාතික මාර්ග සිතියමේ නිල වශයෙන් සලකුණු කිරීමට පියවර ගනියි.
එසේම අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය දිනවල රටේ ඇති වූ ආපදා තත්ත්වයන් නිසා මාර්ග පද්ධතියට සිදුවූ පුළුල් හානි පිළිබඳ දත්ත රැස් කිරීමේ අවශ්‍යතාව මත මෙම ක්‍රමවේදය මූලිකව සකස් කරනු ලැබුව ද, මෙය දීර්ඝකාලීන භාවිතයට නිර්මාණය කර ඇති බවයි.
එමෙන්ම මේ වන විට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිවලට ද මෙම පද්ධතිය යාවත්කාලීන කිරීමේ බලය ලබා දී ඇති අතර ඉදිරියේදී රථවාහන පොලිසියට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද මාර්ග ගැටලු පද්ධතියට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇත.
මේ වන විට නියමු ව්‍යාපෘතියක් වශයෙන් සති කිහිපයක් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ජාතික සහ පළාත් මාර්ග පද්ධති ආවරණය වන පරිදි සාර්ථකව ස්ථාපිත කිරීමෙන් අනතුරුව ග්‍රාමීය මාර්ග සඳහා ද ව්‍යාප්ත කිරීමට නියමිතව ඇත.
මෙම නව ඩිජිටල් වේදිකාව ස්ථිර සේවාවක් බවට පත් කිරීමට පෙර එහි සාර්ථකත්වය තහවුරු කර ගැනීමට සක්‍රීයව දායක වන ලෙසත්, මාර්ග ගැටලු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.