පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට නවීන ආරක්ෂක උපකරණ කට්ටලයක් (PHOTOS)

By Sewvandhi Nov 25, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කටයුතු තහවුරු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගයක් භාර දීම අද (25) පාර්ලිමේන්තුවේදී සිදු කර තිබෙනවා. ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙම උපකරණ තොගය භාරදීම සිදුකළ බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සඳහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ තොගයට ඇතුළත්.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් එම්.ඩී.ඒ.පී පායෝ, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් රේණුක රොවෙල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ටී.ඩී.එස් ද සිල්වා සහ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ මංජුල සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රු. මිලියන 19 කට ආසන්න මුදලක් වැය වන බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ සඳහා වැයවී ඇත්තේ රු. මිලියන 7 කට ආසන්න මුදලක් බැවින් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී ඇති බවත් මෙහිදී අනාවරණය වූ බව සඳහන්.

මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ආරක්ෂක අංශ මෙන්ම වෙනත් ජාතික අවශ්‍යතා සදහා දියුණු තාක්ෂණික මට්ටමේ උපකරණ නිෂ්පාදනයටත් එමගින් ජාතික ධනය සුරැකීමටත් ආරක්ෂක අංශවලට හැකියාව ඇති බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා අනුයුක්ත සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් 2020 වසරේ ජූලි මස පැවති ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයේදී හදුනාගත් ආරක්ෂක අවශ්‍යතාවකට අනුව මෙම උපකරණ තොගය ලබා දීම සිදුවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙහි අරමුණ සහ පසුබිම පැහැදිළි කරමින් ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery