කොවිඩ්වලට එරෙහිව ලොව පළමු වරට DNA එන්නතක්..හදිසි භාවිතයට අවසර...

covid19 India WHO DNA vaccine Kadila healthcare company
By Sewvandhi Aug 21, 2021 02:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව ප්‍රථම වරට ඉන්දියාව කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙනවා. එරට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම එන්නත මාත්‍රා 03කින් ලබාදීමට නියමිත අතර, පුද්ගලයන් 28,000ක් යොදාගෙන සායනික පරීක්ෂණ සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේ.

ඉන් සියයට 66කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළඳී නො තිබීම විශේෂත්වයක්.

එන්නත නිෂ්පාදිත 'කැඩිලා හෙල්ත්කෙයාර්' සමාගම ප්‍රකාශ කළේ, පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ දක්වා DNA එන්නත් භාවිත කරනු ලැබුවේ සත්වයන් සඳහා පමණයි.

ඉන්දියාව තුළ මේ වනවිට කොවිෂීල්ඩ් – කොවැක්සින් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා කෝටි 57 ක් ලබාදී ඇති අතර වැඩිහිටි ජනගහණයෙන් සියයට 13 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා. සියයට 47 කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර,මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන අලාකා සිං ප්‍රකාශ කළා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ ඊයේ (20) පැවති හමුවකදි යි.

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල පත්වීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකු හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

හදිසි වෛද්‍ය පහසුකම් මෙරටට සැපයීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අදහස් දක්වා ඇති අතර, යුරෝපා සංගමය සමග සාකච්ඡා කර ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

එසේ ම අවශ්‍යතාව මත කොරෝනා පරීක්ෂණ කට්ටල ලබාදීමට ද පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණ ක්‍රියාවලියට කෙලෙස බලපානු ඇත්දැ යි මාධ්‍යවේදීන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් විමසා සිටියා.

ඒ, ඊයේ පැවති මාධ්‍ය හමුවකදි යි

එමෙන්ම, වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත් කිරීම ඇතුලු දිවයිනේ ක්‍රියාත්මක සියලුම එන්නත් වැඩසටහන් නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුල ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පවසනවා.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලු දෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙලෙස නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් මස 1 වනදාට පෙර ඔවුන් එන්නත්කරණය කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ප්‍රාදේශීය ලේකම්, පළාත්පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත මේ මස 23 වනදාට පෙර වාර්තා කළ යුතු වනවා.

එමෙන්ම 1906 ක්‍ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම්ද සළසා දී තිබෙනවා.

එම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now