OL-AL අරඹන්න නිර්දේශ දෙයි.. තරගාවලිය පේ‍්‍රෂක්‍ෂකයන්නට විවෘත කරන්න යයි..

covid19 vaccination school opening LPL
By Sewvandhi Oct 30, 2021 04:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළේය.

ඒ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරෙණි.

ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නේය.

පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය කෙරිණි. එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළහ.

පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් කෙරිණි. කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් දුන්නේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබීය. එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ජනාධිපතිතුමා වෙත කරුණු හෙළි කළහ. එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන්නැයි ද ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබිණ.

පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබේ.

ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ. සෞඛ්‍ය විශේෂඥ උපදෙස් වලට යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලු දෙනා සහයෝගය දිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශ ප්‍රේක්ෂකයින්ට ලබාදීම කෙරෙහි ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ඔවුන් ජීව බුබුළ තුළ රඳවා ගනිමින් පහසුකම් සැපයීමේ හැකියාව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

ඉදිරියේ දී මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත්, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

– ජනාධිපති මාධ්‍ය අංශය


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.