රණවිරු දෙමාපියන්ට රණවිරු සේවා අධිකාරියෙන් සහනයක් - මාපිය රැකවරණ දීමනාවට අලුත් ක්‍රමවේදයක්

Report

රණවිරුවන්ගේ සුදුසුකම් ලත් දෙමාපියන්ට මාසිකව රුපියල් 750ක මුදලක් ලබාදෙන “මාපිය රැකවරණ” දීමනාව සඳහා නව තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රණවිරු සේවා අධිකාරිය සැලසුම් කර තිබේ.

2011 අයවැය යෝජනාවක් යටතේ ආරම්භ කළ මෙම වැඩසටහන, මෙහෙයුම් රාජකාරි අතරතුර මියගිය, සටන් බිමේදී අතුරුදන් වූ හෝ සේවය ආශ්‍රිත ආබාධ හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත සේවයෙන් මුදාහරින ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ජීවතුන් අතර සිටින සුදුසුකම් ලත් දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

මෙම දීමනාව හිමිවන්නේ 2009 මැයි 19 වැනිදාට පෙර ත්‍රිවිධ හමුදාවට බඳවා ගනු ලැබූ සාමාජිකයන්ගේ සුදුසුකම් ලත් දෙමාපියන්ටය. රණවිරු සේවා අධිකාරියේ තොරතුරුවලට අනුව, මෙම දීමනාව සඳහා සුදුසුකම් ලත් දෙමාපියන් 32,392 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මේ වන විට ප්‍රතිලාභීන් 16,805 දෙනෙකු දීමනාව ලබාගනිමින් සිටිති.

ප්‍රතිලාභීන්ගේ සුදුසුකම් තහවුරු කිරීම විධිමත් කෙරේ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව, දීමනාව අඛණ්ඩව ලබාගැනීම සඳහා ප්‍රතිලාභීන් තමන් ජීවතුන් අතර සිටින බව තහවුරු කරන වාර්ෂික සහතිකයක් (Life Certificate) ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය සහිතව ඉදිරිපත් කළ යුතුය.

අදාළ සහතික සෑම වසරකම නොවැම්බර් 1 වැනිදා සිට ඊළඟ වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ ඉදිරිපත් කළ යුතු වේ. යෝජිත නව ක්‍රමවේදය යටතේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රතිලාභීන්ගේ ලැයිස්තු සකස් කර ඒවා තහවුරු කිරීම සඳහා අදාළ ග්‍රාම නිලධාරීන් වෙත යොමු කිරීමට නියමිතය.

එහිදී ප්‍රතිලාභීන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම, මියගිය ප්‍රතිලාභීන්ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සහ අවශ්‍ය සහතික ලබාගැනීම සඳහා කටයුතු කෙරෙනු ඇත.

වයෝවෘද්ධ සහ ආබාධිත දෙමාපියන්ට විශේෂ පහසුකම් ග්‍රාම නිලධාරි කාර්යාල වෙත පැමිණීමට අපහසු වයෝවෘද්ධ සහ ආබාධිත ප්‍රතිලාභීන් වෙනුවෙන් ද විශේෂ විධිවිධාන සැලසීමට යෝජනා කර තිබේ.

ඒ අනුව, එවැනි ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ තත්ත්වය තහවුරු කරගැනීමටත්, ජීවත්ව සිටින බවට වන සහතික නිකුත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් ග්‍රාම නිලධාරීන් කටයුතු කරනු ඇත.

මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ දීමනා ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම, ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම සහ වයෝවෘද්ධ දෙමාපියන්ට දීමනාව ලබාගැනීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා අවම කිරීමයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

Gallery