බෝට්ටුව ගිල දමන්න ආ මෝරෙක් පියා සහ පුතා පැය භාගයක් පන්නයි - “නිව් සවුත් වේල්ස් වෙරළට ඔබ්බෙන් දිගටම අපේ පස්සෙන් ආවා” [VIDEO]
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) වෙරළට ඔබ්බෙන් මසුන් ඇල්ලීමට ගිය පියෙකුට සහ පුතෙකුට දැවැන්ත මෝරෙකුගෙන් මුහුණදීමට සිදු වූ බියජනක අත්දැකීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ටොඩ් ලොයිඩ් සහ ඔහුගේ පුත් ෆ්ලින් ලොයිඩ් මෙලෙස මසුන් අල්ලමින් සිට ඇත්තේ ෂෙල්හාබර් නගරයට උතුරින් පිහිටි වින්ඩෑන්ග් දූපත ආසන්නයේදීයි.
එම අවස්ථාවේදී මීටර් 2.5ක් පමණ දිගැති, එනම් අඩි 8.2ක් පමණ දිග මෝරෙකු හදිසියේම ඔවුන්ගේ බෝට්ටුව අසලට පැමිණ තිබෙනවා.
අනතුරුව එම සත්වයා බෝට්ටුව වටා පිහිනමින් කිහිප වතාවක්ම එයට ගැටී ඇති බවයි වාර්තා වන්නේ. පියා සහ පුතා පවසන පරිදි, මෝරා පැය භාගයක පමණ කාලයක් ඔවුන්ගේ බෝට්ටුව අසල රැඳී සිට තිබෙනවා.
එම කාලය තුළ මෝරා බෝට්ටුවේ එන්ජිමට ද දෂ්ට කර ඇති අතර, පසුව නිවසට පැමිණ බෝට්ටුව පරීක්ෂා කිරීමේදී එන්ජිමේ ස්ථාන කිහිපයක දත් සලකුණු දැකගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.
''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”
මෙවැනි විශාල මෝරෙකු තමන් මීට පෙර දැක නොතිබූ බව ෆ්ලින් පවසා තිබෙනවා. කුඩා හා හානිකර නොවන මෝරුන් දැක තිබුණත්, බෝට්ටුවක් අසලට පැමිණ මෙතරම් ආක්‍රමණශීලීව හැසිරෙන මෝරෙකු දැකීම තමන්ට අලුත් අත්දැකීමක් වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ. “අපි මෙහි මසුන් අල්ලමින් සිටියා. මෙහි හොඳ මාළු ඉන්නවා. නමුත් අවසාන පැය භාගය පුරාම මේ මෝරා අපි පසුපස ආවා,” යනුවෙන් ෆ්ලින් වීඩියෝවක සඳහන් කර තිබෙනවා.
මෝරා තමන් අසලින් ඉවත්ව නොගිය බවත්, එහි හැසිරීම තමන් පුදුමයට පත් කළ බවත් පියා වන ටොඩ් ලොයිඩ් පවසා තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසුව ෆ්ලින් අනෙකුත් මසුන් අල්ලන්නන්ට ද මුහුදේදී ප්‍රවේශම් වන ලෙස අනතුරු අඟවා තිබෙනවා.
වීඩියෝවට සමාජ මාධ්‍යයෙන් විවිධ ප්‍රතිචාර පියා සහ පුතා මුහුණදුන් මෙම අත්දැකීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වීමත් සමඟ ඒ පිළිබඳව විවිධ අදහස් පළ වී තිබෙනවා.
සමහරු තමන් ද මසුන් අල්ලමින් සිටියදී මෝරුන්ට මුහුණදුන් අවස්ථා සිහිපත් කර තිබූ අතර, තවත් පිරිසක් පෙන්වා දී තිබුණේ මෙවැනි සිදුවීම් මුහුදේදී සිදුවිය හැකි සාමාන්‍ය තත්ත්වයන් බවයි.
එම මෝරා කුඩා ප්‍රමාණයේ ෂෝට්ෆින් මැකෝ (Shortfin Mako) වර්ගයේ මෝරෙකු බවට ද ඇතැමුන් අදහස් පළ කර තිබෙනවා. එම වර්ගයේ මෝරුන් බෝට්ටුවල එන්ජින්වලට දෂ්ට කරන අවස්ථා තිබෙන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෝරා බෝට්ටුව වටා පිහිනමින් එන්ජිමට ද හානි කළ මෙම සිදුවීම මුහුදේ මසුන් අල්ලන පුද්ගලයන්ට ප්‍රවේශම් වීමේ වැදගත්කම යළි සිහිපත් කර දෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.