මෙට්‍රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක් කළ බවට සැකයක් - සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට
කැස්බෑව - කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 120 යටතේ ධාවනය වන හොරණ - කොළඹ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු බව පොලිසිය සඳහන් කරයි.
කහතුඩුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙට්‍රෝ බස් රථය පසුපසින් පැමිණි අදාළ සුඛෝපභෝගී බස් රථය, කැස්බෑව හන්දියේ සිටම ප්‍රධාන ලාම්පු දල්වමින්, නළාව ශබ්ද කරමින් සහ අනාරක්ෂිත ලෙස ඉස්සර කරමින් ධාවනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පසුව මිරිස්වත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථය මෙට්‍රෝ බස් රථය ඉස්සර කර ඇති අතර, එහි පිටුපස කොටස මෙට්‍රෝ බස් රථයේ ඉදිරිපස දකුණු පස ගැටෙන ආකාරයෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?
අනතුර හේතුවෙන් මෙට්‍රෝ බස් රථයේ දකුණු පස කණ්ණාඩිය සහ ඊට පහළින් පිහිටි වීදුරුව කැඩී ගොස් තිබේ.
සිදුවූ සමස්ත අලාභය රුපියල් 342,000ක් ලෙස තක්සේරු කර ඇත. අනතුර සිදුවන ආකාරය අසල පිහිටි CCTV කැමරාවක ද සටහන් වී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද (10) පොදු දේපළ පනත යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.