දෙහිවල සත්වෝද්‍යානයෙන් හදිසි පුවතක් - අසනීප වුණු සීබ්‍රා සතෙකුට පැය 24ක් ඇතුළත විශේෂ ශල්‍යකර්මයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජීවත් වන ගැහැණු සීබ්‍රා සතුන් දෙදෙනාගෙන් එක් සතෙකු 2026 සැප්තැම්බර් 29 වැනිදා සිට අසනීප තත්ත්වයකට පත්ව තිබේ. අදාළ සත්ත්වයාගෙන් ලබාගත් සාම්පල සහ සිදුකළ ස්කෑන් පරීක්ෂණ මගින් එහි ආහාර මාර්ගයේ අවහිරතාවක් පවතින බව හඳුනාගෙන ඇත.
මේ වන විට දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය අංශය මගින් සත්ත්වයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතී. කෙසේ වෙතත්, සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් නොවීම හේතුවෙන්, 2026 ඔක්තෝබර් 08 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අශ්ව විශේෂ (Equine Species) පිළිබඳ විශේෂඥ දැනුම හා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ධම්මික පෙරේරා මහතාගේ විශේෂඥ පරීක්ෂාවට සත්ත්වයා යොමු කර තිබේ.
එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව, ආහාර මාර්ගයේ පවතින අවහිරතාව ඖෂධීය ප්‍රතිකාර මගින් පමණක් ඉවත් කළ නොහැකි බව තීරණය කර ඇත. ඒ අනුව, විශේෂඥ පශු වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මයක් මගින් එම තත්ත්වය නිවැරදි කිරීම සුදුසු බව දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන් නිර්දේශ කර තිබේ.
ඒ අනුව, විශේෂඥ පශු වෛද්‍යවරයාගේ සහභාගීත්වයෙන් සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාළ ශල්‍යකර්මය 2026 ඔක්තෝබර් 09 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත් කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ඉදිරි ක්‍රියාමාර්ග විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
එමෙන්ම, සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉදිරි යාවත්කාලීන තොරතුරු අවශ්‍ය පරිදි මහජනතාව වෙත දැනුම් දීමට ද දෙපාර්තමේන්තුව පියවර ගනු ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්