ලෝකයක් ආදරය කරන ඒබී ඩිවිලියර්ස් යළිත් වැඩ පෙන්වයි - වයස 42දී පන්දු 37කින් වාර්තාගත ශතකයක් [VIDEO]

Report

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිටියේ සුපිරි පිතිකරු ඒබී ඩිවිලියර්ස් වයස අවුරුදු 42දීත් සිය පිතිකරණ දක්ෂතා මනාව ප්‍රදර්ශනය කරමින් පන්දු 37කින් ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

2026 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදී (WCL) දකුණු අප්‍රිකානු චැම්පියන්ස් කණ්ඩායම නියෝජනය කරන ඩිවිලියර්ස්, ඔස්ට්‍රේලියානු චැම්පියන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 111ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු චැම්පියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 210ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා යාමේදී අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි ඩිවිලියර්ස් පන්දු 40කදී නොදැවී ලකුණු 111ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 11ක් සමඟින්. ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 37කින් වීම විශේෂත්වයක්.

ඩිවිලියර්ස්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ දකුණු අප්‍රිකානු චැම්පියන්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

පන්දුව වැලි කඩදාසියෙන් පළුදු කළ රහස කැමරාවට හසුවූ හැටි - වසර 8කට පසු ලෝකයම දැනගත් කතාවේ සම්පුර්ණ කතාව

පන්දුව වැලි කඩදාසියෙන් පළුදු කළ රහස කැමරාවට හසුවූ හැටි - වසර 8කට පසු ලෝකයම දැනගත් කතාවේ සම්පුර්ණ කතාව

එහිදී ආරම්භක පිතිකරු රිචඩ් ලෙවි ද පන්දු 29කදී ලකුණු 62ක් රැස් කරමින් ඩිවිලියර්ස්ට අනගි සහායක් ලබා දුන්නා.

ඒ හේතුවෙන් ෆාෆ් ඩු ප්ලෙසිස් සහ ජේ.පී. ඩුමිනි වැනි ප්‍රබල පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබුණේ නැහැ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර අටකට වැඩි කාලයක් ගතවී තිබුණත් ඩිවිලියර්ස් තවමත් සිය පිතිකරණ හැකියාවෙන් ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරනවා. මෙය ඔහුගේ පළමු විශිෂ්ට දස්කම ද නොවේ.

2025 වසරේ පැවති WCL තරගාවලියේදී ද ඩිවිලියර්ස් තරග හයක් තුළ ලකුණු 429ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.

එහිදී ඔහු ශතක තුනක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ඔහුගේ ලකුණු රැස් කිරීමේ වේගය 220ක් ලෙස සටහන් වුණා.

2021 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව වෘත්තීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් ද ඈත්ව සිටින ඩිවිලියර්ස්, මෙලෙස යළිත් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණ රටාව ප්‍රදර්ශනය කිරීම කැපී පෙනෙන සිදුවීමක්.

බලාපොරොත්තු බිඳ වැටෙයි - කාසියේ වාසිය ලැබුවත් ලංකාවට පළමු T20 තරගයෙන්ම පරාජයක්

බලාපොරොත්තු බිඳ වැටෙයි - කාසියේ වාසිය ලැබුවත් ලංකාවට පළමු T20 තරගයෙන්ම පරාජයක්