රටේ භයානක ප්‍රධානතම ප්‍රශ්නයක් විසඳන්න නාමල් පාසලෙන් පටන් ගනී!!!

Education School Sports Namal Rajapakshe
By Aruna Mar 29, 2022 08:43 AM GMT
Aruna

Aruna

Report

මත්ද්‍රව්‍ය වලින් දරුවන් ඈත් කළ හැකි හොඳම ක්‍රමවේදය ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීම’ යයි ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රීඩාවෙහි දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරමින් මොරටු මහා විද්‍යාලයේ පැවති ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යාවරයා මේ බව කියා සිටියා.

මෙහිදී ක්‍රීඩාවෙහි දස්කම් පෑ පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකු ඇගයීමට පාත්‍ර වූ අතර, එම පාසලේ ම ආදි ශිෂ්‍යයකු වූ ප්‍රසන්න දිසානායක මහතාට වසර 28ක් පුරා විද්‍යාලයීය දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂ්‍යලයය ඔප්නැංවීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවකු වශයෙන් ඉටු කළ සුවිශේෂි මෙහෙය වෙනුවෙන් උපහාර පිදීම ද සිදුවිය.

මෙහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස නිෂාන් මධුෂ්ක (ක්‍රිකට්), දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පී.එච්.දිල්ෂා දේශානි සිල්වා (ජූඩෝ) සහ නැඟී එන ක්‍රීඩකයා ලෙස එම්.සදීෂ අනුෂන්ක ප්‍රනාන්දු (මලල ක්‍රීඩා), නැඟී එන ක්‍රීඩිකාව ලෙස ඩී.ධනුජි ඉමේෂිකා ප්‍රනාන්දු (කරාතේ/හෑන්ඩ්බෝල්) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ‘’ප්‍රථමයෙන්ම අද මෙම පාසලේ ඇගයීමට ලක්වන වර්ණලාභී සහෝදර දු දරුවන්ට සුබ පතනවා.

පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේ දී තම පාසලේ වර්ණයන් ලබාගැනීම පාසල් ජීවිතයේ ක්‍රීඩකයෙක් ලෙස ඔබට ලබාගත හැකි උපරිම ඇගයීමයි.

විදුහල්පතිතුමන් විදියට මේ දරුවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ගත් උත්සහාය පිළිබඳව අපි සතුටුවෙනවා.

ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන විට ඕනෑතරම් අවස්ථාවන් ලැබෙනවා.

එක් අවස්ථාවක් මඟහැරුණොත් තව අවස්ථාවක් ලැබෙනවා.

ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවිට එක් තරග මාලාවක් හෝ එක් තරගාවලියක් සෙල්ලම් කරන්න බැරිවුණොත් තවත් තරගයක් ඊළඟ සති කිහිපය, මාස කිහිපය ඇතුළත හෝ ඊළඟ අවුරුද්ද තුළ ලැබෙනවා.

පාසල් ක්‍රීඩාවේ විශේෂත්වය වෙන්නෙ එක වයස් කාණ්ඩයක සෙල්ලම් කරන්න පුඵවන් සීමිත කාලසීමාවක් වීමයි.

19 පහළ දරුවෙක්ට එක season එකක් මිස් වුණොත් ඒ දරුවට ආයෙම වාතාවක් ඒ වයස් කාණ්ඩය යටතේ තමන්ගේ පාසල නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

කොවිඩ් 19 වසංගත කාලය අතරතුර එය සිද්ධ වුණා.

ක්‍රීඩකයෙක් ගොඩනැගෙන්නෙ පාසල් පද්ධතිය තුළ නිසා පාසල් තරගාවලි පැවැත්වීම ඉතාමත් කැපකිරීමකින් සිදුකළ යුතු කාර්යයක් වෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අපිට ක්‍රීඩකයෙක් ලැබෙන්නෙ අවු.19න් 20න් පස්සේ. එ් තාක් පාසල ක්‍රීඩාව තිබෙන්නෙ පාසල තුළයි.

ඒ වගේම විදුහල්පතිතුමන්ලා/තුමියන්ලා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාාවන් ප්‍රදේශයේ ධානපතියන් එකතුකරගෙන මේ පාසල තුළ ක්‍රීඩාව ගොඩනඟනවා.

අපි දක්ෂ ජාතික කණ්ඩායමක් ගොඩනඟන්නෙ ඒ අරන් එන ශක්තියෙන්.

ඒ නිසා පාසල් ක්‍රීඩාව ගොඩනැඟීම පිළිබඳව අපි ආණ්ඩුවක් විදියටත් අමාත්‍යාංශයක් විදියටත් විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

විශේෂයෙන්ම දරුවෝ විදියට ඔබ විශාල කැපකිරීමක් කළ යුතුයි.

බහුතරයක් දෙමාපියන්ට හා ගුරුවරුන්ට ඕන පොතපතේ තිබෙන ප්‍රතිඵල බලන්න.

ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විදුහල්පතිවරයා අගයන්නේ AL/OL විභාග අවසානයේ සමත් වූ ප්‍රතිශතය අනුවයි.

ක්‍රීඩාව බලන්නේ ඉතාමත් කලාතුරකින්. යථාර්ථය එයයි.

මම පාසල් යනකොටත් අපේ තාත්තාලා පාසල් යනකොටත් මේ ඔබ, පාසල් යනකොටත් එහෙමයි. එය වෙනස් විය යුතුයි.

අධ්‍යාපන ක්‍රමවේදයේ තිබෙන ඒ වෙනස අපි ඇති කළ යුතු යැයි විශ්වාස කරනවා. නමුත් විනයානුකූල අංගසම්පූර්ණ දරුවෙක් හැදෙන්න නම් ඒ දරුවා ක්‍රියාශීලි දරුවෙක් විය යුතුයි.

එම දරුවාට සමාජය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි.

කණ්ඩායම් හැඟීමකින් වැඩ කළ හැකි විය යුතුයි සහ අභියෝගවලට මුහුණදිය හැකි දරුවෙක් බවට ඔහු පත්විය යුතුයි.

විනයානුකූල අංග සම්පූර්ණ දරුවෙක් හැදෙන්න ඒ දරුවා කලාවට සහ ක්‍රීඩාවට නැඹුරු විය යුතු යැයි අප විස්වාශ කරනවා.

සමහර වෙලාවට බොහෝ දෙනෙකු තුළ පන්ති කාමරයේ නැති විනය ක්‍රීඩා පිට්ටනියේ තියෙනවා. මමත් එහෙම ශිෂ්‍යයෙක්.

මගේ පාසලේ හිටපු ගුරුවරුන්ගෙන් ඇහුවොත් මට පන්ති කාමරයේ එකරම් ගෞරවයක් නැහැ.

ක්‍රීඩා පිට්ටනියේ විනයානුකූල ක්‍රීඩකයෙක් විදියට මට ගෞරවයක් තියෙනවා.

නමුත් අධ්‍යාපනය අතහැරෙන තැනට ගෙනාවෙත් නැහැ.

දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවෙන්න නම් ඒ ක්‍රීඩකයා හොඳ ප්‍රබුද්ධ හා විශ්ලේෂණාත්මක මනසකින් යුතුව තමන්ගේ විරුද්ධවාදී කණ්ඩායම එහෙම නැත්නම් ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුනාගැනීමට, ඔවුන්ව කියවීමට මනා දැනුමක් සහ හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් විය යුතුයි යන්න මා ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදියටත් විස්වාශ කරනවා.

තමන්ගේ ශක්තිය වගේම දුර්වලකම දන්න ක්‍රීඩකයෙක් ගෙන සෑම විටම දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත්වෙනවා.

තමන් දන්නවා නම් තමන්ගේ දක්ෂතාව කුමක්ද තමන්ගේ දුර්වලතාව කුමක්ද කියන කාරණය ඒ ක්‍රීඩකයා සෑමවිටම ස්වේඡාවෙන් තමා ම පුහුණුවීම් සිදුකර තම දක්ෂතාවන් ප්‍රගුණ කරනගමන් ඒ දුර්වලතාවන් මඟහැර ගන්නවා.

දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවෙන්න නම් ඒ ක්‍රීඩකයා පාසල් පොත පත හා බද්ධ වුණ ක්‍රීඩකයෙක් වි යුතුයි.

ප්‍රතිපත්තිමය වශයෙන් විෂය නිර්දේශ වශයෙන් ලොකු වෙනස්කම් වෙන්න ඕන.

ඒවා වෙනම කාරණා. නමුත් හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් කියන්නෙ හොඳට ඉගෙනගන්න පුළුවන් දරුවෙක්. ඔබ තවම පාසල් වියේ සිටින තරුණ දරුවෝ.

එක පැත්තකින් විනය හදාගන්න, අධ්‍යාපනය හදාගන්න. ඒ වගේම ක්‍රීඩා කරන්න.

අද රටේ බොහෝදෙනෙක් කතා කරනවා ගෑස් පෝලිම ගැන. මාධ්‍යයේ පෙන්නනවා පෙට්ට්‍රල් පෝලිම ගැන.

තව නොයෙක් පෝලිම් ගැන මාධ්‍යයේ පෙන්නනවා.

දෙමාපියන්ට රටේ දරුවන්ට ඒවා ප්‍රශ්න. නමුත් ඊටත් එහාට ගිය මත්ද්‍රව්‍ය උවදුර අද අපේ රටේ විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ ප්‍රශ්නය පිළිබඳව කතාකරන්නෙ නැහැ. මාධ්‍යයේ පෙන්නන්නෙ නැහැ.

ඒ නිසා ඒ මත්ද්‍රව්‍ය වලිනුත් දරුවන්ව ඈත් කරන්න පුළුවන් ක්‍රමය ඔවුන්ව ක්‍රීඩාවට යොමු කිරීමයි.

ක්‍රියාශීලි දරුවෙක් ගොඩනඟන්න. ඔබේ පාසල තුළ ක්‍රියාශීලි දරුවෙක් ඔබ ගොඩනැඟුවොත් දවසක රටට කීර්තියක් ගේන්න පුළුවන් දරුවෙක් ගොඩනැඟුවා කියන හැඟීමෙන් ඔබට ආඩම්බර වෙන්න පුළුවන්.

අධ්‍යාපනික පැත්තෙන් වෙන්න පුළුවන්, විශ්ව විද්‍යාල මට්ටමින් වෙන්න පුළුවන්, ක්‍රීඩාවෙන් වෙන්න පුළුවන්, කලාවෙන් වෙන්න පුළුවන්, ක්‍රියාශීලි විනයානුකූල දරුවෙක් බිහි කළොත් සමාජයට වැඩදායි දරුවෙක් බිහි කළේ අපේ කාලේ අපේ පාසලෙන් යැයි මේ ගුරු මණ්ඩලයට සතුටුවෙන්න පුළුවන්.

පාසල් පද්ධතිය තුළ තිබෙන මෙම ව්‍යුහය ශක්තිමත් කරමින් ඉදිරියට යා යුතු බව අපි දැඩිලෙස විස්වාශ කරනවා.

මමත් පාසලේ දී හතර වතාවක් වර්ණ ලැබුවා. වසර හතරක් 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළා.

16න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් නායකත්වය දැරුවා.

ඒ හැම අවස්ථාවක මා අකමැතිම කාරණය වර්ණ ප්‍රදානෝත්සවයේදී ඇවිත් පැය ගාණක් කතා පවත්වන එක.

ඒ නිසා අද ආරාධිත අමුත්තා විදියට ඇවිත් මම ඒ වැරැද්ද කරන්නෙ නැහැ. ඔබ දක්ෂ දරු පිරිසක්.

ඔබේ පාසල අද ඔබව ඇගයීමට ලක්කරනවා. ඔබේ විදුහල්පතිතුමාත් ගුරු මණ්ඩලයත් ඔබව ඇගයීමට ලක්කරනවා.

ඔබේ දෙමාපියන්ට ඔබ පිළිබඳව ආඩම්බර විය හැකි දරුවෙක් බවට අද ඔබ පත්වී තිබෙනවා.

ආදරණීය දුවේ පුතේ ඔබ අද ඔබේ පාසල, ඔබේ දෙමාපියන් ආඩම්බරයට පත්කළා වගේ යම්කිසි දවසක මේ මාතෘ භූමියත් ආඩම්බරයට පත් කළ හැකි දරු පිරිසක් බවට පත්වෙන්න’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වා, කොළඹ මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, පිලියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයය අධ්‍යක්ෂ සී.ටී.ගනේගම, මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ලිලන්ති පෙරේරා, මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත, මොරටු මහා විද්‍යාලයීය විදුහල්පති යූ.වී.ගුණරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha