වෛද්‍යවරු ඉල්ලන හැම ඖෂධයක්ම දෙන්න රජයට බෑ කියන නලින්ද
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව පවසයි.
ඔහු කියා ඇත්තේ බහුතර ප්‍රමාණයක් භාවිත කරන, වැදගත්ම ඖෂධවලට රජය මුදල් වෙන් කරන බවත්, ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලන ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට ක්‍රියා කරන බවත් ය.
එමෙන්ම ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක් සිදු වුණහොත් ප්‍රාදේශීය එම ආයතනවල ප්‍රධානීන්ට ඖෂධ සහ ශල්‍ය උපකරණ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව ඖෂධ සංයෝජකගේ එකඟතාව මත රෝහල් අධ්‍යක්ෂවරයාට එය වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව ද කියයි.
එසේම ඉකුත් අය වැයෙන් දේශීය ඖෂධ සැපයුම් කර ගැනීමට රුපියල් කෝටි 3,500 ක මුදලක් වෙන්කළ බවද ඔහු පවසා ඇත. අමාත්‍යවරයා මේ බව දන්වා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු විසින් පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් සිදුකළ බරපතළ මූල්‍ය වංචා හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස ගල් ගැසී තිබූ බව ද සඳහන් කර ඇත.
ඊට අමතරව නලින්ද මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය සැපයුම් අංශය ඔස්සේ රෝහල්වලට දෙන ඖෂධ වර්ග 862 ක් සහ ශල්‍ය උපකරණ 12,444 ක් සපයන බවයි.
එම ලැයිස්තුව සකසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වූවද ඊට අදාළව නිර්දේශ ලබාගනු ලබන්නේ රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බවත් සඳහන්.
එහිදී එම ඖෂධ වර්ග 862 න් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ වර්ග 432 ක් සහ ශල්‍ය උපකරණ 5,906 ක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවන බවත්, එම ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයීමේදී විටින් විට බාධා පැමිණීමේ හැකියාව ඇති බවද පවසා තිබෙනවා.
