කොවිඩ් සමයේ සිදුකෙරූ ඝාතනයක සුළ මුල වසර 6කට පසු එළියට - ඇග කිළිපොලා යන හෙළිදරව්වක්
2020 වසරේ කොවිඩ් වසංගත සමයේදී ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අතුරුදන් වූ බවට වාර්තා වූ 62 හැවිරිදි සුනිල් කුමාරසිංහ සහ කාමන් ද සිල්වා යන අඹුසැමි යුවළගේ සිරුරු කොටස් වසර 6කට පසු අද (24) කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළ දමා තිබියදී සොයා ගෙන ඇත.
ඒ අනුව මෙම යුවළ අතුරුදන් වීම සම්බන්ධයෙන් එකල ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිලි කර තිබුණද ඒ පිළිබඳ නිසි තොරතුරක් අනාවරණය නොවූ අතර, පසුව ඥාතීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කළ දැනුම්දීමකට අනුව විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අතුරුදන් වූ යුවළ පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචි අඹුසැමි යුවළකගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම බිහිසුණු ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
පෞද්ගලික ආරවුලක් මත තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර, කාන්තාවගේ ගෙළ බැඳි රන් මාලය ද කොල්ලකා සිරුරු කොටස් කර නිවස අසල ඇළ මාර්ගයේ වළ දමා ඇති බවත්, මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ ප්‍රධාන සැකකරු විසින් විවිධ අවස්ථාවල මතු වූ සිරුරු කොටස් නැවත නැවතත් වළ දමා ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකාර අඹුසැමි යුවළ සහ ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින සැකකරුවන් එම ස්ථානයට කැඳවා සිදු කළ ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුරු කොටස් ගොඩගැනීමට කටයුතු කෙරිණි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.