ඩුබායි කාන්තාර රථ ධාවන ක්ෂේත්රයේ දැවැන්තයෙක් වූ ශ්‍රී ලාංකික 'මිච්' අභාවප්‍රාප්ත වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) කාන්තාර රථ ධාවන (Off-roading) සහ කඳවුරු බැඳීමේ ක්ෂේත්රයේ ප්‍රසිද්ධ චරිතයක් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මිචෙල් පෙරේරා (Mitchell Perera) මහතා වයස අවුරුදු 59දී ඩුබායිහිදී අභාවප්‍රාප්ත වී තිබේ. '
මිච්' (Mitch) යන අන්වර්ථ නාමයෙන් ප්රකටව සිටි ඔහු, පසුගිය අගෝස්තු 14 වැනිදා සිදුකළ විවෘත හෘද සැත්කමකින් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් බදාදා (04) මියගිය බව Gulf News පුවත්පත වාර්තා කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාර රථ ධාවන ප්‍රජාව වෙනුවෙන් ඔහු සිදුකළ දීර්ඝකාලීන මෙහෙවර මෙන්ම වාර්ෂිකව පැවැත්වෙන 'Gulf News Fun Drive' වැඩසටහන සමඟ පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් ඔහු බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
එම වැඩසටහනේදී ඔහු ප්‍රවීණ මාර්ෂල්වරයෙකු, සන්නිවේදන පාලකවරයෙකු සහ ව්‍යාපෘති නායකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
හෘද කපාටයක කාන්දුවක් හඳුනාගැනීමෙන් අනතුරුව ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව ඔහුගේ ඥාතියෙකු වන ඩැල්රීන් දේවදාසන් (Dalrene Devadason) Gulf News වෙත පවසා ඇත.
සැත්කමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු හුස්ම ගැනීමේ අපහසුතා, වකුගඩු ක්රියාකාරීත්වයේ ගැටලු සහ පෙනහළු ආශ්රිත සංකූලතා කිහිපයකට මුහුණ දී තිබේ.
මුල් අවධියේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පුනරුත්ථාපන කටයුතු ද ආරම්භ කර තිබුණද, පසුව ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මියයෑමට පෙර දින කිහිපය තුළ ඔහුගේ තත්ත්වය යළිත් අයහපත් වූ බව වාර්තා වේ.
දශක ගණනාවක් පුරා කාන්තාර රථ ධාවනය සහ කඳවුරු බැඳීම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ මිචෙල් පෙරේරා මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Off-roading ක්ෂේත්රයේ පුරෝගාමියෙකු ලෙස සැලකේ. ඔහුගේ පියා වන ක්‍රිස් පෙරේරා (Chris Perera) ද මාර්ෂල්වරයෙකු ලෙස කටයුතු කළ Gulf News Fun Drive වැඩසටහන සමඟ මිචෙල්ගේ සම්බන්ධතාව ආරම්භ වී ඇත්තේ 1986 වසරේදීය.
එහිදී ඔහු මාර්ගෝපදේශකයෙකු (Navigator) ලෙස පළමු වරට සහභාගී වී තිබේ. පියාගේ අඩිපාරේ යමින් 1987 වසරේදී සහතික ලත් කාන්තාර රියදුරෙකු බවට පත්වූ ඔහු පසුව එම වැඩසටහනේ මාර්ෂල්වරයෙකු ලෙස ද කටයුතු කළේය. කාන්තාරයේ අභියෝගාත්මක මාර්ග ඔස්සේ ගමන් කරන සහභාගිවන්නන්ට මඟ පෙන්වීම ඔහුගේ ප්‍රධාන කාර්යභාරයක් විය.
වසර ගණනාවක් පුරා Gulf News Fun Drive වැඩසටහන සංවිධානය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද ඔහු සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබේ. එම වැඩසටහන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනප්‍රියතම විනෝදාත්මක මෝටර් රථ ඉසව්වක් බවට පත්වීමට ඔහුගේ දායකත්වය ද හේතු වී ඇත.
මිචෙල් පෙරේරා මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ජර්මනියේ පදිංචිව සිටින අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන ඔහුගේ වයෝවෘද්ධ දෙමාපියන් පිළිබඳව ද පවුලේ සාමාජිකයන් තොරතුරු සඳහන් කර තිබේ.